රාජ්‍ය වගකීම අත හැර මුවහමට තඩි බෑම හෙවත් facebook තහනම – තුසිත පතිරණ

රටක රාජ්‍ය ව්‍යුහයේදී ව්‍යවස්ථාදායකය, විධායක හා අධිකරණය යන පද්ධතීන්හි ශක්තිමත් භාවය තුළ එම රටේ දේශපාලන, සමාජීය , හා ආර්ථිකය රදා පවතින්නේය යන සත්‍යය න්‍යායත්මතව මෙන්ම ප්‍රායෝගිකවද භාවිත සත්‍යයකි. රාජ්‍යයක් මෙහෙය වීමට ආණ්ඩු බලය හිමි කරගන්නා පාලක පක්ෂයක් හෝ කිපියක් විසින් තම ශක්තිමත් භාවය මෙකී මූලයන්ගෙන් පදනම සකස් කර ගැනීම තුළ එම ආණ්ඩුවේ කල්පැවැත්ම තීරණයද වේ.

රටක ජනතාවගේ නිදහස පත්වන ආණ්ඩු බලය හිමිකරගන්නා පාලකයන් විසින් කොතරම් දුරට සුරක්ෂිත කරන්නේද යන්න මත ජනතාව එකී ආණ්ඩුවට බලයේ රැදී සිටීමට සෘජුව හෝ වක්‍රව උපකාර කරනු ලබයි. මෙහිදී විශේෂයෙන්ම ජනතාවගේ නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ප්‍රධානත්වයක් ගන්නේ දියුණුවන ලෝකයේ ප්‍රධාන භූමිකාවක් අදහස්වලට හා මිනිස් චින්තනයට හිමිවීම හේතුවෙනි.
එබැවින් අදහස් දැනගැනීම හා අදහස් ප්‍රකාශනය මුඛ්‍යතම මිනිස් නිදහසක් මෙන්ම එය ජනතාවගේ අයිතියකි. මේ සදහා ප්‍රධාන මාධ්‍ය මෙන්ම අන්තර්ජාල භාවිතය ද උපයෝගී වන අතර ඒ සදහා වන පහසුකම් සැලසීමද රාජ්‍යයක් සතු වගකීමක් ලෙස දැක්විය යුතුය.
මාධ්‍ය හා සමාජ මාධ්‍යය
රටක තොරතුරු දැනගැනීමේ දී මහා ජනමාධ්‍ය හා ද්විතීක ජනමාධ්‍යය ලෙස හදුන්වාදිය හැකි ආයතන ව්‍යුහයක් සකස්ව ඇති අතර මෙහි මහා මාධ්‍යය ආයතනයන් විසින් පුවත් හා ජනමාධ්‍ය නීති පද්ධතියකට යටත්ව රාජ්‍යයට සෘජුව වගවීමේ සීමාවේ සිට තොරතුරු බෙදාදීම සිදුකරයි. තවද ජනමාධ්‍ය ලෙස හා සමාජ මාධ්‍යය ලෙස ද මෙය ද්විත්වාකාරයක් ගනී.  රූපවාහිනිය, ගුවන් විදුලිය, පුවත්පත, වෙබ් අඩවි යන මහා ජනමාධ්‍යය ආචාර්ය ධාර්මිකව හා නීතිය සමග සෘජුව බැදී ඇති මාධ්‍යයන් වන අතර එසේ සෘජුව බැදී  නොසිටියද පද්ධතියක් ලෙස වළකා ලිය හැකි හෝ මුදාහැරිය හැකි මාධ්‍යයක් ලෙස සමාජ මාධ්‍ය මේ වන විට සුවිශාල කාර්යය භාරයක් අදහස් දැක්වීමේදී මෙන්ම අදහස් ප්‍රකාශනයේදී ඉදිරියට පැමිණ ඇත. කෙසේ නමුත් මේ සියලු ආකාරයේ මාධ්‍යයට නිදහස උවමනාය. එය සැලසීම රාජ්‍යයක වගකීමකි.
සමාජ ජාලා හා  අදහස් ප්‍රකාශනයේ නිදහස
90 දශකයේ  සිට ලොව පුරා ව්‍යාප්ත වූ සමාජ ජාලා මාධ්‍යය අදහස් දැනගැනීමේ හා ප්‍රචාරණයේ ඒකාධිකාරීත්වය බිද දැමීමට සමත්විය. මෙතෙක් ආයතනයක් සතුව පැවැති අදහස් ප්‍රකාශනයේ ඒකාධිකාරය බිද දමමින් පුද්ගලිකව අදහස් ලොව කවර නම් ප්‍ර දේශයක් හෝ පුද්ගලයෙක් හෝ සමූහයක් සමග බෙදාගැනීමේ හැකියාව මෙමගින් ඇති කරනු ලැබීය. Facebook, whats app, twitter , youtube, googleplus , imo, viber  හා තවත් බොහෝ සමාජ මාධ්‍ය ජාලයන් මගින් මෙකී ප්‍රවාහය පුළුල් තලයකට ගෙන එන ලදී.
පුද්ගලික මත දැක්වීම් හා සමාජ මත ප්‍රකාශනයන් මෙන්ම වීඩියෝ හා ඡායාරූප මගින් තොරතුරු විශාල සමූහයක් වෙත මේ වන විටද බෙදාගැනීමට මෙයට හැකිව පවතී. තොරතුරු දැනගැනීමේ මිනිස් අයිතියේ පුළුල් බව මේ සමග වර්ධනය වූ බව  අනිවාර්යයකි.
සමාජ මාධ්‍ය ජාලා අවහිරය හා එහි බලපෑම
 පසුගිය කාලයේ මෙන්ම වර්තමානයේද ලංකාව තුළ දැඩි කතාබහට ලක්වූ මාතෘකාවක් වූයේ සමාජ මාධ්‍ය ජාලා අවහිර කිරීම සම්බන්ධ ප්‍රවෘත්තියයි. රජය විසින් මත භේදකාරී සමාජ ගැටුමක් සිදුවූ අවස්ථාවක සමාජ ජාලා අවහිර කිරීම මේ වන විට සුබලත්වයක් ගන්නා කරුණකි. සමාජ මාධ්‍ය අවහිර කිරීම කරලියට පැමිණියේ පසුගිය කාලයේ මහනුවර ආශ්‍රිතව සිදුවූ ජාතිවාදී ගැටුම පදනම් කොටගෙන වන අතර එහිදී  සදහන් කොට සිටියේ සමාජ මාධ්‍ය ජාලා මගින් ජාතිවාදී ප්‍රකාශනයන් බෙදා හැරීම විසින් මේ සදහා වන පසුබිමක් සකස් වූ බවය. මෙය පදනම් කොටගෙන මුල්වරට ලංකාව තුළ සමාජ මාධ්‍ය ජාලා තහනම් වන්නේ සිංහල මුස්ලිම් ගැටුම් ඇතිවීමට ෆේස් බුක් හරහා සිදුකරනු ලැබූ ප්‍රකාශන් හා එම ගැටුම් හි ඡායාරූපයන් හා වීඩියෝවන් සමාජ මාධ්‍ය ජාලා හරහා ව්‍යාප්ත කිරීම මගින් දිවයිනේ වෙනත් පළාත්වලද මෙවැනි ගැටුම් නිර්මාණය වේය යන සැකය පාදක කොටගෙනය.
සිදුවීම් සිදුවීම සාමාන්‍යෙයන් ලෝකයේ ඕනෑම රටක පවතින තත්වයකි. එවැනි සිදුවීම් පාදක කොටගෙන සමාජ ජාලාවන් ඒක සිද්ධි වාචිකව අවහිර කිරීමට යාමෙන් ඉන් පරිබාහිරව පවතින විශාල පරාසයක වන බිඳ වැටීම් ගණනාවක් පිළිබදවද අවධානය යොමු කළ යුතුව ඇත.
සමාජ ජාලා අවහිරය හා ආර්ථිකමය බිදවැටීම්.
මේ වන විට බොහෝ තරුණ තරුණියන් අන්තර් ජාලා මගින් ව්‍යාපාරයන් ගොඩ නගා එමගින් විදෙස් විනිමය රටට ගෙන ඒම බොහෝ දෙනා අවධානය යොමු නොකරන අංශයකි. online හරහා තම භාණ්ඩ විකිනීම හා ප්‍රචාරණය සිදුකිරීම මගින් ආර්ථිකමය ශක්තිමත් භාවය ලගා කර ගන්නා ව්‍යාපාර බොහෝමයක් ජනප්‍රිය වී ඇති අතර එය රැකියාවක් ලෙස තෝරාගත් පිරිස් සමාජයේ විශාල ප්‍රමාණයකි.
අන්තර් ජාල වෙබ් අඩවි තම වෙබ් අඩවියෙහි ප්‍රවෘත්තිය නැරඹීම සදහා වඩා වැඩි පාඨක පිරිසක් නැඹුරු කර ගැනීමට facebook මත  ප්‍රවෘත්තිය ඵල කිරීමෙන් හා දැන්වීමක් ලෙස යෙදීමෙන් නරඹන්නන් විශාල ප්‍රමාණයක් ගෙන්වා ගැනීමට සමත්ව ඇත. එමගින් වෙබ් අඩවියෙහි ප්‍රචාරණය මෙන්ම නැරඹීම මගින් google සමාගම විසින් වෙබ් අඩවියට අදාළ ගෙවීම් කිරීම සිදුවන අතර එමගින් විදෙස් මුදල් ප්‍රමාණයක් ලංකාවට ගලා ඒම සිදුවේ.
මෙවැනිම කාර්යයක් youtube හරහාද සිදුවන අතර එමගින් වීඩියෝවක් ප්‍රචාරණය වීමේ ප්‍රමාණය මත වන ගෙවීම් සිදුවන අතර එය නැරඹීම මගින් එහි ඵලවන දැන්වීම් ඔස්සේ විශාල ආදායම් උපයන තරුණ පිරිස් මේ වන විට බිහිව ඇත. මෙවැනි  ව්‍යාපාර විශාල ප්‍රමාණයක් අන්තර්ජාල හරහා හා සමාජ මාධ්‍ය ජාලා උපයෝගී කොගෙන සිදුවන අතර එමගින් විදෙස් මුදල් ප්‍රමාණයක් ලංකාවට ගලාඒම සිදුවේ.
සමාජ මාධ්‍ය හා දැනුම බෙදාහැරීම
සමාජ මාධ්‍ය යන්න හොදින් පරිශීලනය කරන්නෙකුට මෙහි හුදු අගතිගාමී ප්‍රකාශනයන්ගෙන් තොර දැනුම කේන්ද්‍රගත වූ ගබඩාවක් ලෙස සමාජ මාධ්‍ය ජාලා පවතී. ඒ අනුව පතපොත පරිශීලනය කොට එමගින් දැනුම බෙදා දීම හා ප්‍රශ්න සදහා පිළිතුරු ලබාදීම මෙන්ම දැනුම හුවමාරු කරගැනීම වැනි අධ්‍යාපනික තලයක සමාජ මාධ්‍ය ජාලාවන්හි ප්‍ර යෝජනය එවැනි අධ්‍යාපනයක් සදහා නියැලී සිටින විශාල පිරිසකගෙන් මේ බව අවබෝධ කර ගත හැකි වනු ඇත.
ඒ අනුව දැනුම අරමුණු කොගෙන තැනුනු like pages දැකිය හැකි වන අතර එවැනි පිටු පරිශීලනය කරන්නෙකුට ඒවායෙහි අඩංගුව පවතින සාහිත්‍යය, ඉතිහාසය , ලෝක සමාජ තත්වයන්, පරිසරය, සංස්කෘතික දැනුම හා ලෝක දේශපාලනික දැනුම වැනි විවිධ විෂය පරාසයක විහිදී ගිය දැනුම් සම්භාරයක් උකහා ගත හැකි වනු ඇත.
සමාජ මාධ්‍ය හා කලාව
සමාජ මාධ්‍යය මගින් සුවිශාල මෙහෙවරක් සිදුවන  තවත් අංශයක් ලෙස කලාව හා සාහිත්‍යයයි.  කලාවට විශාල මෙහෙවරක් සමාජ මාධ්‍ය ජාලා මගින් සිදුවන අතර එහිලා කාව්‍ය නිර්මාණ හා නව කතා කෙටි කතා, ගීත  මෙන්ම විවිධ ක්ෂේත්‍රෙය් කලා කෘති  නිර්මාණය හා ප්‍රචාරණය සිදුවීම නව ප්‍රවනතාවක් ලෙස විමසිය යුතුමය. සමාජ මාධ්‍ය උපයෝගී කොට ගෙන ප්‍රසිද්ධියට පත් දැවැන්ත කාව්‍ය  රචක රචිකාවියන් විශාල ප්‍රමාණයක් සාහිත්‍ය සමාජය හා කලා ක්ෂේත්‍රය නියෝජනය කිරීම අවධානයට ලක් කළ යුතුමය.  කලාවේ දැවැන්ත චරිත මෙන්ම සාහිත්‍ය නිර්මාණ ඔස්සේ කරලිගත වන විශාල කලාකරුවන් පිරිසක් සමාජ ජාලා උපයෝගී කොට ගෙන තම නිර්මාණ කාර්යය සාර්ථක කර ගනී.
 සමාජ ජාලා උපයෝගී කොට ගෙන සමාජ මතවාදයන් නිර්මාණය කිරීමට හා එවැනි සමාජ මතයන් සමාජ ගත කොට සමාජ වෙනසක් හා බුද්ධිමය සංවාදයක් සිදුකරන අතර එහිලා සාධනීය ප්‍රතිඵල අත්පත් කරගැනීම සමාජ ප්‍රගමනයට හේතු සාධකයක් ලෙස දැක්විය හැකිවේ.
කෙසේ නමුත් පසුගිය කාලයට අදාළ ව සමාජ ජාලාවන්හි දේශපාලනික මට්ටමේ කියවීම වන්නේ එය හර සුන් හා මඩ ප්‍රචාරණයට මෙන්ම සමාජ විරෝධී කාර්යයන් හි  නිරත වීමට වන බිමක් ලෙසයි.  මෙම තත්වය පිළිබද කවර හෝ විමර්ශන කණ්ඩායමක් යටතේ කිරා මැන බැලීමක් සිදුකරන්නේ නම් එවැනි තත්වයන්ට සමාජ මාධ්‍ය ජාලාවන්හි ඉඩ වෙන්ව ඇත්තේ  20%ක් තරම් සුළු ප්‍රමාණයකි.  එසේම ඔවුන් විසින් සිදුකරනු ලබන සමාජ බාධාවන් මෙන්ම අන්තගාමී ප්‍රචාරණය සම්බන්ධයෙන් වන විකල්ප විසදුමක් රජය විසින් ඉදිරිපත් කළ යුතුය.
ආණ්ඩුවකට හෝ සමාජයට විරුද්ධව මතයක් පළ කරන්නේ නම් කළ යුතු වන්නේ මෙවැනි සෙවාවන් අක්‍රීය කිරීම වෙනුවට  ඒ සදහා වන රාජ්‍ය ව්‍යුහයක් ගොඩ නගා ඒවා නිසි නිරීක්ෂණයට භාජනය කොට  සමාජය ගමන් ගන්නා මාවත අවබෝධ කර ගැනීමය. එවිට ඒ සදහා වන සමාජ මය දැනුවත් වීම මෙන්ම එවැනි කාර්යයන්ට මුහුණ දීම සදහා වන නිරීක්ෂණ ජාලාවක් උපයෝගී කොටගෙන අදාළ සංසිද්ධීන්ට අදාළ නීතිමය පියවර හෝ වෙනත් එවැනි ව්‍යසනයන් වලක්වා ගැනීම සදහා වන කටයුතු සිදු කිරීමත්ය.
අදාළ  මත දැක්වීම් හා ප්‍රචාරණයන් මගින් සමාජය ගමන් ගන්නා දිශාව තේරුම් කර ගැනීම මගින් ආණ්ඩු බලයට හා රාජ්‍ය බලයට කල් තියා අදාළ තත්වයන්ට මුහුණ දීම සදහා අවස්ථාව සලසා ගත හැකි වනු ඇත.
කෙසේ නමුත් සමාජ ජාලා මගින් සිදුවන හානිය පිළිබද දැවැන්ත ප්‍රචාරණයක් සිදුවන්නේ එමගින් වන බලපෑමේ ප්‍රමාණයට සාපේක්ෂවය.  වැරදි තොරතුරු සමාජ ගත කිරීම පමණක් මෙවැනි මාධ්‍ය මගින් සිදුවනවා යන පූර්ව නිගනයේ සිට ඒවා වසා දැමීම සමාජ ගැටළු වටල විසදුමක් ලෙස දකින්නේ නම් එවැනි පාලක පක්ෂයක ලෝක දැනුම හා කියවීම සම්බන්ධයෙන් වන දැනීම වටහා ගත හැකි වනු ඇත.
කළ යුතු වන්නේ සමාජ මාධ්‍ය ජාලා අවහිර කිරීම නොව නිදහස් අදහස් ප්‍රචාරණයට ඉඩ සලස්වා ඉන් මතුවන බහුතර කතාබහට ලක්වන මතවාදයන්ට අදාළව ආරක්ෂක හා සමාජ ශෝධන වැඩපිළිවෙලක් සකස්කිරීමය.  ඒ සදහා කටයුතු නොකොට රටේ සිදුවන සියලු ප්‍රශ්න සමාජ මාධ්‍ය ජාලා මගින් යවා ඒවා තහනම් කිරීම හෝ ඒවාට වාරණ නිකුත් කිරීම නොවන බව පැහැදිලි කළ යුතුම කරුණකි.
– තුසිත පතිරණ –

Leave a Reply

Your email address will not be published. Required fields are marked *