අඩ සඳ සහ පුන් සඳ… මේනුකා දම්සරණී – 2019. 05. 17

-සිහළ ජනයිනි රුහුණු මායා පිහිටි රටේ
දමිල ජනයිනි යාපා පටුනේ මඩකලපුව තිරිකුණාමලේ
මුස්ලිම් ජනයිනි බේරුවල හම්බන්තොට තිහාරියේ
උරය පළා සැතකින් බලන් රුහිරු
එක රතු පැහැයෙන් ගලා හැළෙන අයුරු-

ජීවත් වෙන්න හදවතක් තියෙන්නම ඕන. ඒත් විශ්වාස කරන්න පුළුවන් ද? සමහර මිනිස්සු ඉන්නවා හදවතක් නැතුව ජීවත් වෙන…
ජීවත් වෙන්න හදවතක් ඕන රුධිර සංසරණ ක‍්‍රියාවලියට ඕන නිසා නෙවෙයි. මම හිතන්නේ ජීවත් වෙන්න හදවතක් ඕන, අනෙකාට සංවේදී වීම තුළ තියෙන ජීවිතේ අපරිමිත සතුට විඳින්න කියලා.එහෙම අනෙකාට සංවේදී නොවී ජීවත් වෙන්නේ ඇවිදින මළ කඳන්.
හදවත් තියෙන ජීවිත අතර ඒ සංවේදිකම ගොඩනගන්නේ ඒ හදවත ඇතුළෙ පණ ගැහෙන මනුස්සකම. ඒ මනුස්සකම නැති හදවතත් නිකන්ම නිකන් හිස්තැනක් විතරයි.
මේ ලෝකෙ හැම ජීවියෙක්ම අම්මගේ කුසේ ඉඳන්ම ඉගෙන ගන්න ඒ මනුස්සකම දියමන්තියක් වගේ ඔපමට්ටම් කරන්න තමයි මිනිස්සු ආගම කියන දේ හොයාගන්න ඇත්තේ. බෞද්ධ – කිතුණු – ඉස්ලාම් – හින්දු මේ මොන ආගමක වුණත් මං දන්න තරමින් මනුස්සයෙකුට කියලා දෙන්නේ ඒ සංවේදීකම. ඒ මනුස්සකම.
තමන්ගේ පැවැත්ම වෙනුවෙන් අනෙකාව පීඩාවට පත්කරන්න කියලා ආගමකින් දහමකින් කියනවා නම් එක්කෝ දෙවියන්ට වැරදිලා. නැත්නම් දෙවියන්ව විශ්වාස කරපු අපිට වැරදිලා.
පාස්කු ඉරිදා අපේ රටේ කතෝලික පල්ලිවලට හෝටල්වලට එල්ල වුණු හිත්පිත් නැති පවුකාරයින්ගේ බෝම්බ නිසා පිපිරිලා සුණු විසුණු වෙලා ගියේ ඒ මන්දිරවල උස බිත්ති පියසි විතරක් නෙවෙයි.
සිය ගාණක් මිනිස් ජීවිතත් එක්ක බෝම්බ සද්දෙට විළාප හඩට යටපත් වෙලා ඊට ගවු ගාණක් ඈත හිටපු මිනිස්සුන්ගෙත් හිත් කාටත් නොදැනි බිඳිලා ගිහින්. ඒ බිඳුණු හදවත් හදන්න මනුස්සකම කියන දහමටම හැර වෙන කිසිම දහමක් සමත් වෙයි කියලා හිතන්නත් බෑ.
එකම හඳ දෙකට තුනට බෙදාගෙන රාමසාන් – දීපවාලි – වෙසක් සමරන අපි අද අනෙකා දිහා සැකෙන් බලන්න තරම් අසරණ වෙලා. හඳටත් අයිතිවාසිකම් කියලා ආගම ජාතිය බලන්න තරම් අපි අසරණ වෙන එකක් නෑ කියලා මම තවමත් විශ්වාස කරනවා.
”පල්ලියේ බිම වැටුණ මස් වැදලි සවලෙන් එකතු කරද්දි නිහඩ වුණු මිනිස්සු සති ගාණකට පස්සෙ බිම වැටුණ කෙසෙල් ගෙඩි දැකලා කඳුළු වගුරනවා”
මේ මම මුහුණු පොතේ දැක්ක සටහනක්. පාස්කු ඉරිදා ප‍්‍රහාරය ගැන ලියන්න වචන එකතු කරගන්න බැරි තරමට කම්පාවට පත්වෙලා හිටපු හිතට මේ සටහන ලියන්න ශක්තිය ආවේ මේ ෆේස් බුක් සටහන නිසාමයි.
ඇත්ත. පල්ලියේ බිම වැටුණ මස් වැදලි දැකලා මිනිස්සු ගොඩක් නිහඩ වුණා තමයි. ඒ දරාගන්න බැරි කම්පනයට. දුකට. කියාගන්න බැරි බයට. අවිනිශ්චිතභාවයට.
එදා දෙව්මැදුරේ යාඥා කරපු මිනිස්සුන්ට වැදුණු බෝම්බ කෑලි පන්සලේ කෝවිලේ පල්ලියේ හැමතැනකම හිටපු මිනිස්්සුන්ටත් වැදුණා. ඒ කම්පාවෙන් බියෙන් මිනිස්සුන්ගේ වෛරය ක්‍රෝධය පළිගැනීමේ ඕනකම යටපත් වෙන්න ඇති කියලා මට හිතෙනවා.
කාලයත් එක්ක ඒ තුවාල සුවකරගන්න මිනිස්සුන්ට ඕන වුණා. ඒ නිසයි පන්සලේ ධර්ම ශාලාවේ ගීතිකා ඇහුණේ. පල්ලියේ සිකුරාදා යාඥාවෙන් පස්සේ හාමුදුරුවෝ වැඩම කරලා බණ කිව්වේ.
ඒත් හැමතැනම මිනිස්සු නෑ. ඒ නිසයි වේළීගෙන එන තුවාල පහුරු ගාලා තුවාල කරන්න හදවත් නැති (නො)මිනිස්සු රටේ තැන් තැන්වලදි තුවාල වුණු හිත් පාරලා අවුස්සන්න ගත්තේ.
ආයෙත් අර ෆේස්බුක් සටහන මතක් කරන්නද?
”පල්ලියේ බිම වැටුණ මස් වැදලි සවලෙන් එකතු කරද්දි නිහඩ වුණු මිනිස්සු සති ගාණකට පස්සෙ බිම වැටුණ කෙසෙල් ගෙඩි දැකලා කඳුළු වගුරනවා”
පල්ලියේ බිම වැටුණු මස් වැදලි බිම වැටුණු කෙසෙල් ගෙඩි එළවළු පළතුරු අතරෙ විතරක් නෙවෙයි වඬේ කරත්තෙත් දකින්න අකමැති මිනිස්සු ඉන්නවා. එහෙම දකින්න භය මිනිස්සු ඉන්නවා. මොකද එහෙම අතීතයක් දුෂ්කර උත්සහයකින් ජය ගත්ත මිනිස්සු අපි.
පල්ලියේ සිය ගාණක් ජීවිතවල ඉරණම ඒ තරම් මිලේච්ඡු විදියට තීරණය කළේ අර ඇස් අඩවපු කෙසෙල් කඬේ අයිතිකාරයාවත් වඬේ කරත්තේ මනුස්සයාවත් නෙවෙයි කියලා අපි තේරුම් ගන්න තෙක් අපිට අපේ තුවාල හොඳ කරගන්න ලැබෙන එකක් නෑ. අපි අපිම ඒවා පාරගෙන අපි අපිටම චෝදනා කරගෙන අපිම වේදනාවෙන් කෑගහයි.
අපි අපේ තුවාල පාරගන්නේ අපේ වුවමනාවටවත් අපේ දැනුවත්කමටවත් නොවෙන්න පුළුවන් කියලත් මට හිතෙනවා. අපිට නොදැනිම අපේ ඉරණම මේ තරම් අවාසනාවන්ත විදියට නිර්මාණය කරපු සහරාන්ලට වඩා අන්තවාදියෝ සුළු පිරිසක් ඉන්නවා ඒ අයගේ අන්තවාදය තමයි අපේ ඇස් රවට්ටන දේශපාලනය. ඒ අය පාට පාට කණ්නාඩි දාලා අපිව මුලා කරලා ඉවරයි.
ඒ නිසාම බෝම්බෙන් මැරුණු මිනිස්සු විතරක් නෙවෙයි ඒ වේදනාවෙන් විඳවන අනික් මිනිස්සුත් බෝම්බ පුපුරවපු සහරාන්ලවත් අපිට පේන්නේ පාට කණ්නාඩිවලින්.
දේශපාලන අන්තවාදියෝ අපේ ජීවිත හිරිවට්ටලා ඉවරයි. දැන් අපේ අවයව එකින් එකට ගලවලා ඒ අයට ඕන විදියට නටන පණ නැති රූකඩ බවට පත්කරගෙන යනවා.
සහරාන්ලගේ බෝම්බෙට හන්දියේ වෙසක් තොරණට පහන් කූඩුවට උදව්වට එන මොහොමඞ්ලවත් ෆාතිමාලවත් පලි නැහැ. ඒ මොහොමඞ්ලට ෆාතිමාලට වෙසක් දන්සැලේ දොර අරින සිංහල මිනිස්සු පළිත් නැහැ. ඒ නිසා ඒ බෝම්බෙට උත්තර දෙන්න ඕන වඬේ කරත්තෙට එළවළු කඬේට ගහලා නෙවෙයි.
එක එක හීනවලින් අපිව හිරිවට්ටලා අපේ මනුස්සකම කොල්ල කාපු අවස්ථාවාදී දේශපාලකයින්ට ඊළග ඡුන්දෙදි අපි ගහන කතිරෙන්.
එහෙම අවස්ථාවාදීන්ට බළල්ලූ වෙලා අපි ඒ අය වෙනුවෙන් කොස් ඇට බානවා නම් ඒ වෙනුවෙන් රාමසාන් එකට සිංහල අවුරුද්දට දීපාවලියට කෑම පිගාන බෙදාහදාගෙන කන අසල්වැසියට කැත්තෙන් පොල්ලෙන් උත්තර දෙන්න යනවා නම් සහරාන්ගෙයි අපියි අතරෙ වෙනසක් නැතිවෙයි.
මිනිස්සුන්ගේ හිත්වලට සැකය කියන්නේ මහ භයානක විෂබීජයක්. ඒ නිසා සිංහල මනුස්සයා මුස්ලිම් මනුස්සයා දිහත් මුස්ලිම් මනුස්සයා සිංහල මනුස්සයා දිහාත් සැකෙන් බලන එක නවත්තන්න ආයෙත් අපිට කාලයක් යයි. මොකද අපි කවුරුත් හිත දියුණු කරපු සෝවාන් වුණ මිනිස්සු නොවෙන නිසා. ඒ නිසා ඒ වගේ පුංචි පුංචි දේවල් අපි මනුස්සකමෙන් ඉවසලා ආයෙමත් එකම පවුලක් වගේ ජීවත් වෙමු.
සහරාන්ගේ බෝම්බෙට මුස්ලිම් සහෝදර සහෝදරියන්ගේ අයිතිය ගෞරවය වගේම සිංහල මිනිස්සුන්ගේ අභිමානය මනුස්සකම සංවේදීකම පුපුරලා යනවට අපි කවුරුත් අකමැතියි.
ආයෙමත් නිදහසේ හුස්ම ගන්න පුළුවන් දවසක් වෙනුවෙන් අපි හැමෝටම ඉටුකරන්න යුතුකමක් තියෙනවා. පාට කණ්නාඩි ගලවලා ඒ යුතුකම වගකීම දිහා බලන්න.
හැම හදවතක්ම ගැගෙනවා. ඒත් අනෙකාගේ හදගැස්ම වෙනුවෙන් ගැහෙන හදවත් යායක් එක්ක අලූත් ශ‍්‍රී ලංකාවක් හදන්න අපි මේක ආරම්භයක් කරගමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *