Save Wilpaththu & Save Earth…….. මේනුකා දම්සරණී – 2019. 04. 03

සොබාදහම…. ඒ අපි හැමෝගෙම අම්මා. මගේ අම්මා. ඔබේ අම්මා. මාව මේ ලෝකෙට බිහිකරපු මගේ අම්මටත් ඇය තමයි අම්මා. මේ අහස යට තියෙන සොබාදහමේ හැම ජීවී අජීවි අංශුවක්ම ඒ අම්මගේ ම කොටසක්. ඒ එක අංශුවක වෙනසත් සොබාදහමට ඔනෑවටත් වඩා දැනෙනවා කියලා මං විශ්වාස කරනවා. මොකද සොබාදහම කියන්නේ තවත් අම්මා කෙනෙක්.
මහ මුහුදින් උස කඳුවැටිවලින් වන රේඛාවලින් රට රටවල් බෙදාගෙන අපි මේ මහපොළව උඩ අහස යට සීමා මායිම් ඇන්දට මේක මගේ මේක ඔබේ කියලා බෙදාගත්තට අපිට එහෙම අයිතියක් නෑ. අපිට මහපොළව අයිති නෑ. ඒත් මහපොළවට අපිව අයිතියි.
අපි ඉන්නේ සමකාසන්නයේ තමයි. ඒ නිසා උත්තර ධ‍්‍රැවයේ දක්ෂිණ ධ‍්‍රැවයේ ග්ලැසියර තට්ටු වේගයෙන් දියවෙද්දි අපිට මොකද අපිට නම් ඒ කරදර නෑ කියලා අපි හිතනවා. ලෝකේ වටේ මහා සාගරවල ටොන් බිලියන ටි‍්‍රලියන ගණනින් ප්ලාස්ටික්, ගන අපද්‍රව්‍ය එකතුවෙලා තල්මස්සු, සමුද්‍ර ජීවියෝ, ජලජ පැලෑටි විනාශවෙලා යද්දී අපේ මුහුද නම් එහෙම විනාශවෙලා නෑ කියලා අපි හිත හදාගන්නවා.
ලෝකේ විශාල ම වැසි වනාන්තරය එළිපෙහෙළි කරලා අධිවේගී මාර්ග ඉදිවෙද්දී අපිට දැනුනෙ නැහැ. චීනයේ ඉන්දියාවේ වායු දූෂණය ඉහළ ගිහින් සැණකෙළිවල ගිනිකෙළි භාවිතය පවා සීමා කරන්න ඒ රටවල් තීරණය කරද්දි අනේ අපේ රටේ නම් ගහකොළ තියෙනවා හොඳට හුස්ම ගන්න කියලා ලොකු හුස්මක් අරන් අපි හිත හදාගන්නවා.
ලෝකෙ කොතැනක වුණත් සොබාදහමට සිද්ධවෙන ඒ හැමදේම අපිටත් බලපානවා කියලා ලංකාවේ අපිට විතරක් නෙවෙයි කලූ, සුදු, දුඹුරු කොණ්ඩ තියෙන හමේ පාට කලූ, සුදු කාට වුණත් දැනෙන්න ඕන. එහෙම දැනුණා නම් ලෝකේ සොබාදහම ගැන මේ තරම් නරක ආරංචි අපිට නොලැබෙන්න තිබුණා.

කාලෙන් කාලෙට එක එක රැලි හැදෙන අපේ රටේ දැන් අලූත්ම රැල්ල ‘සේව් විල්පත්තු’. ඒ රැල්ල හොඳ රැල්ලක්. ඒත් හැමදේම සතියෙක් දෙකෙන් අමතක වෙන අපේ රටේ මිනිස්සුන්ට විල්පත්තුව රකින්න හැදුණ මේ උණ සහලෝලා වැඩිවෙනවනම් මම කැමතියි. ඒක සොබාදහමට ආදරය කරන්න ලෝකයටම පණිවුඩයක් දෙන තරමට ශක්තිමත් වෙනවානම් වටිනවා.
මහා රූස්ස ගස් කපලා කොන්ක‍්‍රීට් කණු අහස උසට ඉන්දන සංවර්ධනයකට වඩා සොබාදහමේ සුන්දරකම් වටිනාකම් රැකගෙන ලෝකෙ අල්ලන සංවර්ධනයකට යන්න ලංකාවේ විතරක් නෙවෙයි ලෝකෙ හැම ජාතියකටම පුළුවන්නම් මේ මහපොළව උඩ මිනිසා ඇත්තටම මනසින් උසස් ජාතියක් වේවි.
සොබාදහම ගිනියම් කරන්නේ මිනිස්සුන්ගේ හිත්පිත් නැති නපුරුකම්ම තමයි කියලා දැන් මිනිස්සුම තේරුම් අරන් ඉන්නවා. ඒත් ඒකට පිළීයම් යොදන්න නම් තාම ලොකු වුවමනාවක් දැනිලා නෑ. මහපොළව ගිනියම් වෙලා ඇළදොළ වේළිලා යද්දී පිපාසෙට දියපොදක් හොයාගෙන එන අහිංසක වන සත්තුන්ව වෙඩිල්ලකින් දඩයම් කරන්න තරම් අපේ රටේ සමහර මිනිස්සු සාහසිකයි. කැලේ පුංචි කරලා සද්ධන්ත වන අලි කොටු කරලා උන්ට කන්න කෑම බොන්න වතුර නැති වුණාම කැලෙන් එළියට එද්දි කන කෑමට හක්කපටස් දාලා කිරි දරුවො තරම් අලි පැටවුන්වත් මරන්න තරම් අපේ රටේ සමහර මිනිස්සු ආත්මාර්ථකාමියි.
ඇතිවීමක් නැති තණ්හාව නිසාම සද්ධන්ත හස්ති රාජයින්ගේ දළ වෙනුවෙන් උන්ව මහපොළවට රහසෙම පස්කරන්න තරම් සමහර මිනිස්සු තණ්හාධිකයි. පරම්පරා ගාණකට හෙවණ දෙන ඵල දෙන මහා රූස්ස ගහක් වාත්තු කරලා සාලේ මැද සුවපහසු අසුනක් හදලා ආඩම්බර වෙන්න තරම් ගොඩක් මිනිස්සු මෝඩයි.
අපි විල්පත්තුවේ මුඩු පාට වුණු පොළව ආයෙමත් කොළ පාටින් වැහෙනකම් මේ රැල්ල දිගටම අල්ලන් යමු. ඒත් ඒ විදියටම අර සද්ධන්තයින් වෙනුවෙන්, මසට විකිණෙන අහිංසක වන සත්තු වෙනුවෙන්, පොලිතින් ප්ලාස්ටික් නිසා කසල ගොඩක් වෙන නිල් පාට මහා සාගරය වෙනුවෙන්, රක්ෂිතවලට වනාන්තරවලට හිතාමතාම අවුලන ගිනිවලින් පණ පිටින් ඇවිළෙන සතා සීපාවුන් වෙනුවෙනුත් ඒ වගේම රැල්ලක් හදමු.
අඩු තරමින් අහෙම අපරාධ කරන මිනිස්සුන්ට මතක හිටින දඩුවමක් දෙන්න, ඒ දිහා බලලා ආයෙත් තවත් කෙනෙක් ඒ වරද නොකරන තරම් ශක්තිමත් නීතියක් හදාගන්නවත් පුළුවන් වුණොත් ඒක ඓතිහාසික විප්ලවයක් වේවි.
කාන්තාරෙක වුණත් ඉඳලා හිටලා සමහර තැන්වල උණ පදුරු හැදෙනවා. ඒ තෙතක් තියෙන තැනක. මේ මහපොළවෙත් හැම තැනකම දලූ මල් පිපෙයි, ඇළදොළ ගලයි, මහා තුරු වියන්වලින් හෙවණැලි ඇඳෙයි….. ඒත් ඒ, මහපොළවෙ වැඩි අයිතියක් භුක්ති විඳින මිනිස්සුන්ගේ හිත්වල මනුස්සකමේ තෙතමනයක් තියෙනවා නම් විතරයි.
අපි ප‍්‍රමාද නෑ. මේ හැමදේම වෙනස් කරන්න අපිට පුලූවන්. ඒකට ඕන අපි වනචාරීන් නොවී මිනිස්සු විදියට හිතලා වැඩකරන එක විතරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *