අද කලාව කියන්නේ පැෂන් එකක් – චින්තක සමන්

රහ දැනෙන වචනවලට විතරමද කවියක් කියන්නේ ?

කවිය ගැන පෙර අපර දෙදිග උගතුන් නොයෙකුත් නිර්වචන ඉදිරිපත් කරල තියෙනවා.. රසවත් වැකිය කවියයි” (වාක්‍යං රසාත්මකං කාව්‍යම්) යන්න විශ්වනාථ ඉසිවරයාගේ නිර්වචනයක්..නමුත් මං නම් හිතන්නේ රහට දැනෙන වචන වලට පමණක් කවියක් කීම සුදුසු නෑ වගේම කවියකට නිර්වචන උවමනත් නෑ.. මොකද කවිය දිනෙන් දින වෙනස් විය යුතුයි. නව අත්හදාබැලීම් .. නවමු පරිකල්පන ශක්තීන්..මත එය දිනෙන් දින වෙනස් විය යුතුයි..නමුත් රසය කියන දේත් අප අත්හල යුතු දෙයක් නොවෙයි.. එසේනම් රසය යනු කවරක්දැයි අප හදුනාගත යුතුයි…කවියකින් ලැබෙන රසය දිවට දැනෙන රසයක් නොවෙයි. එය සිතට දැනෙන රසයක්.සිතට දැනෙන රසය ඇතිවන්නේ කවියේ අර්ථය ගැන කල්පනා කරන විටයි….කවියා එය රචනා කලේ ඇයි….කුමක් අරමුණු කරගෙනද.. කවියාට එය ලිවීමට පාදක වූ අත්විදීම් ….අත්දැකීම් ….පරිකල්පනයන් මොනවාද .. භාෂා ප්‍රයෝග කවරේද ආදිය මත එම රසය අඩු වැඩි වශයෙන් වෙනස් වෙනවා… රසය කවියක අඩංගු විය යුතු වුවත් රහට දැනෙන වචන ටිකක් පමණක් තිබුනු පලියටම එතැන කවියක්නම් නැහැ..

විරහව, ආදරය ස්පර්ශවල ආකෘතීන්ගෙන් පිට කවියක් පැවැතිය නොහැකිද ?
විරහව ආදරය අප කවුරුත් සසල කරන හිතේ ගැඹුරින්ම තැන්පත් කරගෙන සිටින මනෝභාවයන්…ඉතින් ඒ නිසාම එම විෂයයන් පාදක කරගත් නිර්මාණයක් විදින විට අපි ගැඹුරින්ම සසල වීමක් සිදු වෙනවා..නමුත් විරහව ආදරයට වඩා කවියෙන් මතුකල යුතු ලොකු සමාජ වටපිටාවක් තියෙනවා කියල මම කල්පනා කරනවා… ඒ නිසා අපි හැකිතාක් වෙනත් මානයන් ස්පර්ශ කිරීමට උනන්දු විය යුතුයි.

 ඇත්තටම කවියා සමාජයට මඟ පෙන්වන්නෙක්ද නැතිනම් තමන්ගේ හිතේ තියෙන ඇරියස් කවර් කරන්නෙක්ද

කවියා කියන්නෙත් අහසින් පාත්වෙච්ච කෙනෙක් නෙමෙයිනේ.. මේ මහ පොළොවෙම පය ගහගෙන ඉන්න කෙනෙක්.. එදිනෙදා ආර්ථික ප්‍රශ්න.. සමාජිය ප්‍රශ්ණ වලට ඔහුත් මුහුණු දෙනවා…..ඒ නිසා ඔහුට මේ සමාජක්‍රමය ගැන යම් ඇරියස් එකක් තියෙන්න පුළුවන්…ඒ ඇරියස් කවර් කරන්න හිතන්නත් පුළුවන්.. හැබැයි ඒ ඇරියස් එක අතිශයන්ම පෞද්ගලික විය යුතු නැහැ. එය පොදු අත්දැකීමක් ලෙස ඉදිරිපත් කලහොත් තමන්ගේ ඇරියස් එකත් කවර් වෙනවා.. සමාජ මගපෙන්වන්නෙක්ගේ කාර්යයත් ඉටු වෙනවා…ඒ නිසා ඒක වරදක් නොවෙයි මා හිතන හැටියට..

අපි දන්නවා ලංකාවේ කවියේ යුගයන් පැවැතියා.. ඒ ඒ කවි යුගයන්හි කවි මාධ්‍යයන් ඒකාකාරීව පැවැතියත් වර්තමානය වන විට සංකීර්ණ තලයකට කවිය ලගා වී තිබෙනවා.. ඔබ මේ සංකීරණත්වය කෙසේද ගෙන හැර දක්වන්නේImage may contain: 2 people, people on stage

ඔව්… එය හොදයි.. අපි එය සුභවාදීව දැකිය යුතුයි..කවියෙක් වෙන්න කෙනෙක්ට ගොඩක් මහන්සි වෙන්න කැපකිරීම් කරන්න උවමනා නෑ මේ කාලවල් වල..ඒකම තමයි අද කවියෙක්ට බිහිවීමට ඇති අභියෝගයත්…නූතන කවිය අන් කවරදාටත් වඩා සමාජය සමග බද්ධ වී තිබෙනවා… ඉස්සර කවි ලිව්වේ එක්කෝ දුෂ්කර පලාතකට මාරුවී ගිය දිසාපතිවරයෙක්. පරිසරවේදියෙක්. භාෂාව ගැන හදාරන උගතෙක්… වගේ අය.. නමුත් අද කවියා මේ මජර කැත සමාජය ඇතුලෙම වින්දිතයෙක් විදිහටම අපිට හමුවෙනවා…ඒ නිසාම ඔහුගේ ප්‍රකාශණය තියුණුයි… ඔහුට ආදරය කරන්නට අපිට නිතැනින්ම කැමැත්තක් හට ගන්නවා…මේ සංකීර්ණ තලය තුල තව දුරටත් සීනි බෝල සුරංගනා කවි කතා වලට වඩා ජනතාව ආදරයෙන් වැලද ගත් යුත්තේ එම කවියයි…

පසුගියදා කවි පොතක් එළියට දැම්මා එයට දොරට වැඩුමක් තිබුනේ නෑ.. ඇයි එහෙම වුනේ .. ?

මා කවිය පිළිබදව තවම ඉගෙන ගන්නා කෙනෙක්.. ඒ අතර වකවානුවේ තමයි මුල් කාලයේ ලියූ නිර්මාණ කිහිපයක් ගොඩගේ ආයතනය විසින් පවත්වන ලද ජාතික අත්පිටපත් තරගාවලියට ඉදිරිපත් කලේ..ඇත්තටම ඒ සදහාත් මට බල කලේ මා සමග කවි ලියන කියවන සහෝදර හිතවතුන්… ලැබී තිබුනු අත්පිටපත් වලින් එය අවසන් වටයට නිර්දේශ වූ පසු.. මුද්‍රණය කලා..2019 පෙබරවාරි මස 15 දින එය ජනගත කරනු ලැබුවා…ඉතින් තවමත් මා සොයන කවිය මට හමුවෙලා නෑ… එතෙක් පොතක් කරන්නට මගේ අදහසත් ඇත්තේම නැහැ.. මේ ලැබුනු අවස්ථාව මට ලොකු වාසනාවක්. ආශිර්වාදයක් ලෙස පමණයි මා දකින්නේ.. ඉතින් නිතරම කවිය ඉදිරියට තල්ලු කරලා කවියා ඉන්නට ඕනේ පිටුපසින්… ඒ නිසා වෙනමම දොරට වැඩුමක් අවශ්‍ය නැහැ කියල මම තීරණය කලා…නමුත් ඔබට ‍හිතාදර දළඹුවනි මිලදී ගන්නට පුළුවන් දැන්…

ඔබ තරුණ කවියෙක් ලෙස සමාජ ගැටළු සම්බන්ධයෙන් සංවේදීද ? එසේ නම් එවැනි සිද්ධිමය තත්වයන් අලලා කවි ගොඩ නොනැගෙන්නේ ඇයි?

ඇත්තටම මම සමාජ ගැටළු සමිබන්ධයෙන් දිනෙන් දින සංවේදී වන ප්‍රමාණය වැඩි වෙනවා… මේ වන විටත් මම නිර්මාණ කිහිපයක්ම මට හැකි පමණින් රචනා කරලත් තියෙනවා….නමුත් කවියෙක්ට සංවේදී වන සියළු සමාජ ගැටළු කවි කරන්න බෑ…එය ඉතා පරිස්සමින් කල යුතු දෙයක්.. තවමත් මා කරන එක් අත්හදාබැලීමක් තමයි එයත්..

කොහේද ගම්පළාත්

කුරුණෑගල දිස්ත්‍රික්කයේ කටුපොත නගරයට ආසන්නයේ ඇති පොතුවැව කියන පුංචි ගම..

බොහෝ කවීන්ට තම ළමා කාලයේදී ලැබෙන සෙනෙහස හා පාරිසරික උපනතීන්ට අදාළව හැදුනු වටපිටාවක් මගින් කාව්‍ය මය සිතුවිලි පහලවෙනවා.. ඔබටත් එය එසේම ද ?

නිසැකවම… බොහෝ කවීන්ට නෙමෙයි හැම කවියෙක්ටම එසේ වන්නට ඇති…ළමා කාලයේ ලබපු අත්දැකීම් සියල්ල කවි කල නොහැකි වුවත් ඒ දේවල් සිහිකරද්දිත් කවියක් කියවූවා වැනි සතුටක් දැනෙනවා… පුංචි කාලේ පටන්ම අසීමිතව ආදරය සෙනෙහස මත හැදුනු වැඩුනු කෙනෙක් මම…ඒ බැදීම් වල වටිනා කම මම දන්නවා…යාලුවෝ එක්ක රණ්ඩු වෙලා ඇවිල්ලා හැන්දෑවට නිදාගන්නේ නැතිව යාලුවන්ට බැනපු දේවල් කිය කියා අඩද්දි.. අප්පචිචී මහ රූ හුලු අතු පත්තු කරගෙන ගිහින් ඒ ගෙවල් වල අය ඇහැරවලා ඒ යාලුව බදාගෙන අඩ අඩා හිනා යනතුරු සමාව ඉල්ලන්න පුරුදු කරවපු ඒ මානව බැදීම් මට අමතක කරන්න බෑ….ඒ වගේම අගනුවර සමාජයේ මට හමුවූ කුඩුකාරයන් .. ගණිකාවන් යැයි හංවඩු ගහපු අයගේ ජීවිත වල නොපෙනන අහිංසක නැති බැරිකමේ කදුලුද මම දැකල විදල තියෙනවා… අපිට අමුතුවෙන් කාගෙන්වත් ජීවිතේ ගැන පාඩම් උවමනා නෑ….ඉතින් මේ සියල්ල කවියට බලපාන්න ඇති..

වර්තමානයේ මුල්‍යමය අරමුණු පදනම් කොටගෙන ගොඩ නැගී ඇති අධ්‍යාපනයක් මගින් කලාත්මක නැඹුරුම් නොදකින සමාජයක් බිහිව තිබෙනවා යන්න පැවසුවොත් එය කෙසේ ද විග්‍රහ කරන්නේ

එය ඇත්ත.. එය මා මගේ කවියකින්ම විග්‍රහ කලා යම් දුරකට..ඔබ අහපු දේටම අදාලව නැතත්.. ඒ තමයි හාවා ඇවිත් අහසින් පහලට බැහැලා කියන කවිය…නූතන පරම්පරාව ගුණාත්මක කලාවක් පැත්තට නැඹුර කරවීමේදී ගීතයට සහ කවියට තරම් වෙන කිසිම කලා මාධ්‍යයකට එය වඩා බලවත්ව සිදුකල හැකියැයි මා සිතන්නේ නැහැ…මේ දේවල් අප කොතරම් විග්‍රහ කලත් තීරණ තින්දු ගන්නන්ට මේ දේවල් විහිලු බවට පත්වෙනවා…අධ්‍යාපන ක්‍රමය අතිශයන්ම විකාරයක් බවට පත්වෙලා තියෙන්නේ…මම මේක වෙනත් පැත්තකින් සරලවම මෙහෙම කියන්නම්… අපි දන්නවා 71 / 88-89 කාලවල මෙරට ඇති වූ තරුණ කැරළි කෝලහාල… ඒ දේවල් ගැන නොයෙක් අයට ‍නොයෙක් මත තියෙන්න පුළුවන්.. නමුත් මට හිතෙනවා එම දේවල් වලින් ගත යුතු වටිනා දේ තමයි ඔවුන් එක් වූයේ පොදු අරමුණක් සදහා…. ඒ පරම්පරාවෙන් පස්සේ පොදු අරමුණු සදහා කවදාවත් එහෙම පිරිසක් එකතු කරන්නට හැකි වී නැහැ.. ඊට පස්සේ පවුල කියන ඒකකය ඇතුලට කොටු කලා…පවුල තමයි හැමදේම. අනික් අයට මොනවා උනත් කමක් නැහැ…. නමුත් නූතනයේ එය තවත් පටු වෙලා.. තමන් පමණයි. පවුලෙනුත් එය විතැන් වෙලා.. ඉහල මාලයේ සිටින පුතාට පහල මාලයට කෑම කන්නට එන්න අම්මා මැසෙන්ජර් වලින් පණිවිඩයක් යවන කාලයක් මේ….ඉතින් බල්ලෝ මරල හරි කමක් නෑ.. සල්ලි ගෙනෙන් පුතේ කියල දෙමාපියෝ….සති අන්තයේ නෙළුමේ පොකුනේ තියෙන නන්දා මාලිනීලගේ… වික්ටර්ලගේ සංගීත සැදෑවන් බලන්න යනවා…කලාව පැෂන් එකක්…ඉතින් පුංචියට හරි මේ සමාජය යහපත් දිශාවට වෙනස් කරන්නට අපි මහන්සි වෙමු…වෙන කල හැකි දෙයක් නෑ අපිට..

 ඔබ වෘත්තීයෙන් නාවුක සෙබළෙක් .. ඒ නිසාම ජාතිමාමකත්වය හා අනන්‍යතාවය රැකීම යන්නට ලගු වීම මත මනුෂ්‍යත්වය සදහා වන නිර්මාණයක් බිහි වන්නේ නෑ කිව්වොත් ?

වෘත්තීමය ජීවිතය සහ හදවත කියන්නේ දෙකක්… අපේ පලාතේ අපි පුංචි කා‍ලේ හිටියා ප්‍රසිද්ධ කසිප්පු මුදලාලි කෙනෙක්… නමුත් ඔහු කවදාවත් මත්පැන් බොන්නේ නැහැ.. ඒ ඔහුගේ ආදයම් මාර්ගය.. ඔහු දන්නවා එහි ඇති භයානක කම….මගේ වෘත්තීය ජීවිතය ඇතුලේ මම ජාතිමාමකත්වය හා අනන්‍තාවය රකින්නට දිවුරුම් දීල තියෙනවා…නමුත් මගේ එකම නිර්මාණයකවත් මම ජාතිවාදී වචනයක්වත් කියල තියෙනවද…දෙමල මිනිස්සු වෙනම මිනිසුන් කණ්ඩාමක් කියල තියෙනවාද.. ජාතිවාදී නඩ වල ජඩ ප්‍රකාශ වලට මම තරයේ විරුද්ධව අදහස් දක්වල තියෙනවා….ඒ නිසා මනුෂත්වය තියෙන්නේ අනික් සියල්ලටම වඩා ඉහලින්….එය පපුවේ පරිස්සම් කර ගැනීමට මට වෘත්තීය බාධාවක් නෙමෙයි…Image may contain: 3 people, including Chinthaka Saman, people smiling, people standing and indoor

ඉතිං ඉදිරියේදී අපට කවරාකාරයේ නිර්මාණයක් දක්නට ලැබේද ඔබගෙන්

මේ අවුරුද්ද මට විශේෂයි…වැඩ අධිකයි..මම තෝරාගත් කාව්‍ය නිර්මාණ ඇතුලත් කෘතියක් ජනගත කරන්නට අපේක්ෂාවෙන් ඉන්නවා. එහි වැඩ දැන් ‍බොහෝ විට සිදුවෙමින් පවතිනවා…ඒ අතරේ කවිය.. පමණක් නොවෙයි සෙසු කලා අංගයන්ටත් යම් යොමුවීමක් කරන්නට අපේක්ෂා කරනවා…මේ සියල්ල අතරේ අනෙක් අයගේ නිර්මාණ දැක සතුටුවීමේ පුරුද්ද තව තවත් වර්ධනය කරගන්නටත් උත්සාහ කරනවා..

සාකච්ඡා කලේ – තුසිත පතිරණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *