අනාගතය වෙනුවට අතීතය ගැන හිතන ලංකාවේ ඡන්දදායකයා – ගයාන් අබේසිංහ

ඇරිස්ටෝටල් කියුවාක් මෙන් උපතේ සිට මරණය දක්වා ම මිනිසා දිවි ගෙවන්නේ දේශපාලන තරගයක් මැද්දේ ය. එවන් දේශපාලන ජීවියෙකු වන මිනිසා බලවාදින් කියුවාක් මෙන් බලය උදෙසා බලය පසුපස හඹා යන පාලකයන් හේතුවෙන් ඛේදවාචකයකට මුහුණ පාන බව නම් සැබෑවක් ම ය. ඒ වග අප ඇස් පනා පිටම මේ මොහොතේ ප්‍රත්‍යක්ෂ වෙමින් පවතියි. බලය ලබා ගැන්ම උදෙසා නානා විධ වූ දෑ කරන ලංකාවේ දේශපාලකයන් හේතුවෙන් දිගින් දිගට ම වද විදින්නේ සාමාන්‍ය රට වැසියා ය. වරද ඇත්තේ කොතැන ද?

ලංකාවේ ක්‍රියාත්මක වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයකි. සරලව කිවහොත් නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම ඇසුරෙන් ලංකාවේ පාලනය සදහා නියෝජිතයන් පත් කර ගනු ලැබෙයි. එසේ නම් තමන් විසින් පත්කරන නියෝජිතයන් සිටින රටක ජනතාවට මේ තරම් දුර්භාග්‍යයකට මුහුණ පාන්නට සිදුවන්නේ ඇයි? සරල ම පිළිතුර පත්කරනු ලබන නියෝජිතයන්ගේ බල ලෝභිත්වයයි. ඔවුන් දේශපාලන පිටියට පැමිණි විගස උත්සහ දරන්නේ තමන්ගේ ජීවිත ගොඩ දා ගැනීමටත් තමන්ගේ ධන බලය වර්ධනය කර ගැනීමටත් පමණි. තමා පත්කර එවන ජනතාවට හෙන ගැසුව ද ඔවුනට ප්‍රශ්නයක් නැත. එහෙත් තත්ත්වය එසේ වෙද්දී ජනතාව නිහඩව සිටිය යුතු ද? යන ප්‍රශ්නය මතුවෙන්නේ එවැනි පාලකයන්ගේ නොමනා ක්‍රියාකලාපය දිගින් දිගටම සිදුවෙද්දීය. පිළිතුර නැත යන්නයි. මන්ද ජනතාව මේ නියෝජිතයන් තෝරා පත්කරනු ලබන්නේ සදහට ම නොවේ ය. ලංකාවේ නම් කාලයත් සමගින් පැවැත්වෙන මැතිවරණ වලදී ජනපති – මන්ත්‍රීවරු වෙනස් කළ හැකිය. එබැවින් ජනතාවට වග නොකියන. ජනතාව වෙනුවෙන් සේවය නොකරන කලින් අවස්ථාවල පත්කරනු ලැබූවන් ඊගාව මැතිවරණයේ දී පත් නොකර සිටීමේ බලය සම්පූර්ණ වශයෙන් ඇත්තේ ජනතාවට ය. නමුත් ලංකාවේ සිදුවන්නේ මෙයට හාත්පසින් ම වෙනස් ක්‍රියාවලියක් ය.Image result for sri lanka political

ලංකාවේ බොහෝමයක් ඡන්දදායකයන් ගේ තත්ත්වය සෝචනීය ය. ඔවුන් වරක් දෙවරක් නො ව කිහිප වරක් වැරදුනු පමණින් ද පාඩම් ඉගෙන ගන්නේ නැත. බලය ලැබුණු පසු තමන් ට දත නියවන අපේක්ෂයන් ම ඊළග ඡන්දයේ දී ද මනාපය ඉල්ලා පැමිණෙන කළ යළිත් ඔවුන්ට ඡන්දය දී තෝරා පත්කර ගනු ලැබෙයි. එසේ සිදුවන්නේ ඇයි?

මෙයට හේතු වන්නේ අවිඥානික තත්ත්වයක් යැයි පැවසුවහොත් ඔබ විශ්වාස නොකරනු ඇත. නමුත් සරලව සිතා බලා තේරුම් ගත හැකි නිදර්ශන කිහිපයකින් මෙවැනි තත්ත්වයන් හදුනා ගනිමු. ලංකාවේ බොහෝ පලාත්වල විස්වාසයක් ඇත. එය අවිඤානික විශ්වාසයකි. ගොම්මන් යාමේ බැදුමක් අතැතිව තනි පංගලමේ යන අයෙක් ට යක්ෂ දිෂ්ටි වැටෙන බව ඒ විස්වාසයයි. අපි සරලව මෙසේ සිතමු. යම් තරුණියක් මෙසේ තනි පංගලමේ ගොම්මන් යාමේ බැදුමක් අතැතිව ගොස් ඊට පසු දින කවර හෝ හේතුවකින් ඇයට උණ ගත්තා යැයි කියා. උණ හැදුනු පසු අප යා යුත්තේ නිසැකව ම වෛද්යවරයෙක් මුන ගැසී බෙහෙත් ගැනීමට ය. නමුත් මෙම තරුණියගේ දෙමාපියෝ දුවන්නේ රෝහලට නොව, යකැදුරෙක් සොයා ය. පිලියම කුමක්දැයි නිසැකවම දන්නා නමුත් අප එම පිළියම මගහැර වෙනත් පිලියමක් සොයා යයි. ඒ අවිඥානිකවම යක්ෂදා්ෂ පිළිබද විස්වාසය අපේ සිතේ නිදන්ගතව පැවත දැන් එය ඉස්මතු වී තිබීම හේතුවෙන් ය. මෙවන් අවිඥානයෙන් ඉස්මතු වෙන දෑ පිළිබද උදාහරණ රැසක් ම අපට අපේ සාමාන්යව ජීවිතයෙන් හදුනාගත හැකිය. මේ දිනවල දකින්නට ලැබෙන තවත් උදාහරණයක් මෙසේ හදුනා ගමු. මේ සාමාන්ය පෙළ විභාගය ළං වෙන දවස් ය. බොහෝ දෙමාපියෝ සිය විභාගයට මුහුණ දෙන දරුවන් කැටිව මේ දිනවල කතරගම යයි. ඒ සිය දරුවා විභාගයෙන් සමත්කර දෙන්නැයි කතරගම දෙවියන්ගෙන් ඉල්ලා සිටීමට ය. දරුවා විභාගයෙන් සමත් වන්නේ හොදින් අධ්‍යාපනය හැදෑරුවොත් ය. පාසල් අධ්‍යාපනයට අමතරව දෙමාපියෝ දරුවාව හොදම ටියුෂන් ගුරුවරු තෝරා ටියුෂන් පන්තිවලට ද දමන්නේ ඒ නිසා ය. දරුවාට ගෙදරදී පාඩම් කරන්නට මග පෙන්වීම ද අවශ්‍යය. දරුවාට විභාගය සමත් වන්නට ඒ දේවල් සෑහෙන බව දෙමාපියෝ දනියි. එහෙත් එය දෙමාපියන්ගේ අවිඥානය පිළිගන්නේ නැත. ඔවුන්ගේ අවිඥානය විසින් දිගින් දිගට ම ඔවුන් මෙහෙයවයි. ඒ කතරගම වැද පුදා ගැනීම විභාගය සමත් වීමට අනිවාර්ය හේතුවක් බවයි.Image result for sri lanka political

ලංකාවේ ඡන්දදායකයා ද මෙවන් අවිඥානික හැගීම් ඉස්මතුවීමේ රෝගයකින් පීඩා විදියි. තමන්ගේ ඡන්දය ගෙන පසුව රටට වින කරන මන්ත්‍රීවරයා ම නැවත පත්කිරීමේ අවිඥානික හැගීම් ඔවුන් තුළ වෙයි. බොහෝ විට කැපුවත් කොල කැපුවත් නිල් කැපුවත් රතු යැයි කියමින් වහසි බස් දොඩන්නේ එවන් අවිඤානික සිතිවිලි නිසාවෙන් ය. මහින්ද රාජපක්ෂ ඇතුලු රාජපක්ෂ රෙජීමය විසින් ඔවුන්ගේ පසුගිය පාලන තන්ත්‍රය පුරාවට ම කළ කීදෑ ජනතාවට හොදින් මතකය. පෙට්‍රරල් මිල එක් වරම ඉහලට නැංවූ හැටි ද මතකය. නාමල් බේබිලා ගේ කාර් රේස් ද මතකය. හොරට උපාදිගත් ආකාරයන් ද මතකය. රගර් තරග ද මතකය. රතුපස්වල ද මතකය. මේ සියල්ල මතකය. ඔවුන් යළි ආවොත් රටට හානියක් බවද දනියි. හොදම තේරීම ඔවුන් යළි ගෙන ඒම නොවන වගද දනියි. එහෙත් අවිඥානිකව ම මේ සියල්ල පසෙක දමන සිතිවිල්ලක් නැග එයි. ඒ අපේ රටේ යුද්ධය නැතිකල මහරජා මහින්ද උතුමානන් යන්නය. ඉතින් අර වැරදි සියල්ල පසෙකලා ඔවුන්ට ඡන්දය දෙන්නට සූදානම් වෙයි.

අනෙක් පසින් රනිල් ඇතුලු බොහෝ යූ ඇන් පී අපේක්ෂකයන් ගැන ද ජනතාව දනියි. බටලන්දේ සිදුවීම් කටපාඩමින් කියයි. පසුගිය කාල ප්‍රාන්තරයේ යහ පාලන ආණ්ඩුව ගැසූ ගේම් ද මතකයේ ඇත. මිල සූත්‍රය ද ඔලුවේ ඇත. පෙට්‍රල් ඩීසල් මිල සතිපතා ඉහළ යද්දි දත්මිටි කෑ අතීතය ද මතකය. කැම්පස් කොල්ලන් කෙල්ලන්ට පොලිසිය දමා ගැස්සූ දින වකවානු ද මතකය. නිදහසේ පොතක් පතක් ලියන්නට ඉඩ නොදී ඒවාට අත ගැසූ හැටිද මතකය. සියල්ලට ම වඩා බදුබර සාමාන්‍ය ජීවිත පීඩාවට ලක් වූ පමණ ද මතකය. එහෙත් ඒ සියල්ල පසෙකලා අපි කැපුවත් ඉතින් කොල යන සංකල්පය අවිඥානයෙන් මතුව එයි. ඒ නිසා ම ඡන්දය දෙන්නට සූදානමෙන් ය.Image result for sri lanka political

ප්‍රධාන පක්ෂ දෙකට අමතර ව ඉහළට එන්නට වෙර දරන ජනතා විමුක්ති පෙරමුණට ද ඔය තත්ත්වය පොදු ය. නමුත් ඒ වෙනස් අයුරකින් ය. අනික් පක්ෂ දෙකටම මෙම අවිඥානික රෝගය මතු වී ඡන්දය දෙන්නට සිත් පහළ වුව ද ජවිපෙට ඡන්දය නොදී ඉන්නට එය ම හේතුවක් වෙයි. ජවිපේ මැතිවරණ රැළි වලට සෙනග අපමණය. දැන් ඉන්නා කොල්ලෝ කෙල්ලන් මෙන් ම බොහෝ තරුණ උපාධිදරයන් ද ජවිපෙ දේශන අසන්නට යයි. ඔවුන් ගේ දේශපාලන සංවාද වලට යයි. මා දන්නා වෙනත් පාක්ෂිකයන් පවා ජවිපෙ රැලියක් තිබෙන බව දැනගත්පසු එය නරඹන්නට යයි. නරඹා එන අතරෙ උන් කියන එකෙත් ඇත්තක් තියෙනවා යැයි කියයි. නමුත් මළාටවත් ඡන්දය නම් නොදෙයි. එහිදී අවිඥානිකව මතුව එන සිතිවිලි වන්නේ උන්ට දීලා කොහොමද මතක ද 71 භීෂනේ. කී දාහක් කොල්ලො කෙල්ලො මැරුවද? ලංකාවෙ වටින මිනිස්සු කොච්චර මැරුවද? ඒ අවිඥානික සිතිවිලි නිසාම ජවිපෙට ඡන්දය නොදෙයි.

මේ අනුව ලංකාවේ ඡන්දදායකයා සිය ඡන්දය භාවිත කරන්නේ වර්ථමානය හෝ අනාගතය හෝ ගැන සිතා නොවෙයි. අතීතය ගැන සිතාය. ඡන්ද අයිතිය යනු රටේ පරම අයිතියකි. ඒ නිසා රට කරවන අත කාගේ ද යන්න තීරණය රැදෙන්නේ ඒ පරම අයිතිය මතය. තවදුරටත් මේ අවිඥානික රෝගයන්ට ගොදුරුව අනාගතය විනාෂ කරගන්නවා ද යන තීරණය ඔබ අතය.

@ ගයාන් අබේසිංහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *