ඥානසාර හිමිට ජම්පරේ අන්දවයි

ඊයේ (14) සිරගත කෙරුණු බොදුබලසේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ටද සිරකරුවන් භාවිත කරන ඇඳුම ඇඳීම සඳහා ලබා දෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

අධිකරණයෙන් දඬුවම් ලැබ බන්ධනාගාරගත කෙරෙන සෑම සිරකරුවකුටම බන්ධනාගාර නීතිරීති අනුව සිරකරුවන් භාවිත කරන ඇඳුමක් දෙන බවත් ඒ අනුව ඥාණසාර හිමියන්ටද එවැනි ඇඳුමක් ඇඳීම සඳහා ලබාදුන් බවත් එම දෙපාර්තමේන්තුව පැවසී ය.

එසේ සිරගත කෙරුණු ඥාණසාර හිමියන්ව විශේෂ ආරක්ෂාවක් යටතේ වැලිකඩ බන්ධනාගාරයේ ආර් (R) වාට්ටුවේ රඳවා තැබීමට පියවර ගෙන ඇති බව වාර්තාවේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙනිය මහතා සඳහන් කළේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ද බරපතල සිරදඩුවම් නියම වූ අනෙකුත් සිරකරුවන්ට බලපවත්වන රෙගුලාසි වලට යටත් වන බවයි.

හිමියන්ට අනෙකුත් සිරකරුවන්ගේ ඇදුම ඇදීමට සිදුවන බවත්, විශේෂ ආරක්ෂාවක් අවශ්‍ය නම් එය ලබාදිය හැකි බවත් ඔහු වැඩිදුරටත් සදහන් කළේය.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳට බැන තර්ජනය කිරීම සම්බන්ධයෙන් සිර දඩුවම් නියම වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඊයේ (14) පස්වරුවේ වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන එනු ලැබීය.

හෝමාගම මහේස්ත්‍රාත් උදේශ් රණතුංග මහතා දඬුවම් නියම කරමින් නියෝග කළේ ඥාණසාර හිමියන්ට මාස 06 කින් ගෙවී යන වසරක බරපතල වැඩසහිත සිරදඬුවමක් ලබාදෙන බවත් පැමිණිලිකාරියට රුපියල් 50,000 ක වන්දියක්ද ගෙවන ලෙසත්ය.

එය නොගෙවන්නේ නම් තවත් මාස 03 ක ලිහිල් සිරදඬුවමකටද යටත්වීමට සිදුවන බව හෝමාගම මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සුවදුක් බැලීමට බොදුබල සේනා සංවිධානයේ නියෝජිතයන් පිරිසක් ඊයේ පස්වරුවේදී වැලිකඩ බන්ධනාගාරය වෙත පැමිණියද ඔවුන්ට ඒ සදහා අවස්ථාවක් හිමිවී නොමැත.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුවට පැමිණි ඔහුගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩට හෝමාගම අධිකරණ පරිශ්‍රයේදී බැන තර්ජනය කිරීම සම්බන්ධයෙන් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එරෙහිව මෙම නඩුව ගොනු කෙරුණේ 2016 වසරේ ජනවාරි මාසයේදීය.

නඩු විභාගයෙන් අනතුරුව හෝමාගම මහේස්ත්‍රාත්වරයා තීන්දු කළේ සාපරාධී අඩන්තෙට්ටම් කිරීම සහ සාපරාධි බිය ගැන්වීම යන චෝදනා දෙකටම පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් වරදකරු බවයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *