මනුස්සකම හරි සුවඳයි

ඒ මනුස්සකම පිරුණ හිතකට පුළුවන් ජීවිතයක් ම සුවඳ කරන්න. සුන්දර කරන්න. ගැහෙන හදවතකට පුළුවන් තවත් හිතක දුකට කඳුළට වෛරයට කෝපයට සංවේදී වෙන්න. ඒ සංවේදීකමට පුලුවන් කලු ගලක් වගේ හිතක් වෙඬරු පිඩක් වගේ මෘදු මොළොක් කරන්න.

යුද්ධයේ අඳුරු හෙවණැලි යට මනුස්සකම ටී 56ට මරාගෙන මැරෙන බෝම්බෙකට යටවෙලා වැහිලා තිබුණේ. ඒත් ඒ අඳුර දුරු කරලා මානුෂීය මෙහෙයුමකින් පස්සේ උතුරෙත් දකුණෙත් මංමාවත් යාවුණා.

ඊට පස්සේ අමාරුම දේ වුණේ යුද්ධය නිසා බිඳුණු හදවත් යා කරන එක. සංහිඳියාව ගොඩ නගන්න උතුරේත් දකුණේත් දෙමළ සිංහල ජනතාවගේ හදවත් යා කරන්න අපිට කාලයක් යාවි. ඒත් ඒක කරන්න බැරි දෙයක් නෙවෙයි කියලා ඔප්පු කරපු මේ කතාව අපට ඇහෙන්නේ කිලිනොච්චියෙන්. කර්නල් රත්නප්‍රිය බන්දු මහත්මයා කිලිනොච්චියෙන් අඹේපුස්සට ස්ථාන මරුවක් ලැබිලා පහුගිය දහවෙනිදා තමා යටතේ 2012 වසරේ ඉඳන් පුනරුත්ථාපනය වුණ හිටපු LTTE සාමාජික සාමාජිකාවන්ට සමුදෙනවා. ඒක හැමෝගෙ ම ගැහෙන හදවත් කියාගන්න බැරි තරමින් කම්පා කරවපු පිය විප්පයෝගයක්…

සිංහල හමුදාව දෙමළ වැසියන්ට සලකන්නෙ නෑ අපිට හමුදාව එපා කියලා කෑගහන උතුරේ දේශපාලකයොත්, සිංහල හමුදාව බේරගත්ත මව්බිම උතුරේ කොටි ආයෙමත් බිලිගන්න හදනවා කොටි නැගිටිනවා කියලා කෑමොර දෙන දකුණේ දේශපාලකයොත් මේ කතාව එක්ක මොහොතකට හරි නිරුත්තර වෙන්න ඇති. සංහිඳියාව ගැන කිය කිය අලු යට හැංගුණ පුංචි පුංචි ගිනි පුපුරුවලට පිඹ පිඹ යන උතුරෙත් දකුණෙත් දේශපාලකයො ජනතාවගෙ කර මතට නගින්නේ බලහත්කාරෙන්. වහල්කමින්. ඒත් ප්‍රභාකරන්ගෙ හමුදාවෙ හිටපු කොටි සාමාජික සාමාජිකාවො ටිකක් තමන්ව දාලා යන සිංහල හමුදාවෙ නිලධාරියෙක්ව කැමැත්තෙන් ම කරේ තියන් යන්න එපා කියලා අඬ අඬ යදිනවා. ඒ තමයි වෙනස.

මනුස්සකම නිල ඇඳුමට යට නොකරපු මේ සුන්දර මිනිසා ප්‍රභාකරන්ගෙ හමුදාවෙ හිටපු මිනිස්සුන්ගෙ රුදුරු හිත්වල මනුස්සකම පැල කරා. ඔහු යද්දී ඒ මනුස්සකම කිලිනොච්චියේ වේලිච්ච මහපොළව උඩ රූස්ස ගස් වගේ හැදිලා. ඔහුට මොනතරම් සතුටක් දැනෙනවා ඇති ද? වේදනාවක් එක්කම.

සිංහල දෙමළ කියලා ලේබල් ගැහුවට හදවත්වල එහෙම බේද නෑ. හැම හදවතක් ම එක වගේ. හැබැයි ඒක තේරුම් ගන්න ඒ හදවතේ මනුස්සකම තියෙන්න ඕන. සිංහලකම දෙමලකම නෙවෙයි, මනුස්සකම තියෙන්න ඕන.

උතුරෙ මිනිස්සුන්ගෙ හිත් මොනතරම් ලස්සනද කියලා ඒ මිනිස්සුන්ගෙ ඇස්වලින් වැටුණ කඳුළු බිංදු සාක්ශි දෙනවා. උතුරෙ මිනිස්සුන්ව තාමත් මිලේච්ඡ ත්‍රස්තවාදියෝ විදියට දකින දකුණේ සමහර මිනිස්සු යුද්ධයෙන් අවුරුදු ගාණකට පස්සෙත් තාමත් සමරන්නේ මේ වගේ වෙනස් වෙන්න ආසාවෙන් හිටපු LTTE තරුණ තරුණියන්ගේ මරණය වෙන්න පුළුවන්. ඒ යුද්ධයට නොගිය මිනිස්සු.

ඒත් යුද්ධයේදි ජීවිතේ පරදුවට තියලා සිංහලයගෙවත් දමිලයගෙවත් නෙවෙයි ශ්‍රී ලාංකිකයින්ගේ නිදහස වෙනුවෙන් සටන් කරපු හමුදා නිලධාරියෙක් ඒ මිනිස්සුන්ව දාලා යන්න බැරිව ඒ කඳුළු ළඟ අසරණ වෙලා ඉන්නවා. ඒක තමයි මිනිස්සුන්ට ම මගහැරෙන මනුස්සකම.

මේ කතාව නිමා කරන්න කලින් යාපනය ඉලංචේලියන් විනිසුරුතුමාවත් මතක් කරන්නම්. තමන් වෙනුවෙන් වෙඩි කාපු සිංහල පොලිස් නිලධාරියාගෙ බිරිඳගෙන් දණගහලා වැඳලා සමාව ඉල්ලුවේ මේ මිහිපිට මනුස්සකම තාමත් ජීවමානයි කියලා ඔප්පු කරලා.

ඒ මනුස්සකමට කඳුළෙන් සුසුමෙන් ලැබෙන වටිනාකම නිල ඇඳුමට එකතුවෙන පදක්කම් දහසකින්වත් ලබන්න බෑ.

ජාති ආගම්වලට කුලමලවලට හමේ පාටට පිල් බෙදිලා අපි රිද්දන්නේ මේ වගේ රිදෙන හිත් කියලා හිතිලා ඔබේ හිතත් රිදුණු දවසක සංහිඳියාවත් අරන් අපි යමු උතුරට. උතුරෙ හිත් දකුණට අරන් එන්න.

මේනුකා දම්සරණී
2018.06.11

Leave a Reply

Your email address will not be published. Required fields are marked *