කිස් එකක් දුන්නත් වීස් එක හැදෙන රටක ජීවත් වීම – ශානූ විජේතුංග

ලිංගිකත්වය යනු ජීවියා‍ගේ පැවැත්මට අදාළ වන දේහවිද්‍යාත්මක පෙළැඹුමක් ලෙස ම‍නෝවිද්‍යාව තුළ විග්‍රහ වන අතර සිග්මන් ෆ්‍රොයිඩ් විසින් සිය මනෝවිශ්ලේෂණ විග්‍රහයන්හි දී පෙන්වා දෙනුයේ ලිංගිකත්වය හා ලිංගික ආශාව පුද්ගල පෞරුෂ‍යේ වර්ධනයට අත්‍යවශ්‍යය සාධකයක් බවය.
ලිංගිකත්වය, ලිංගික ආශාව සහ ලිංගික තෘප්තිය නීතිය, සදාචාරය හා සමාජ පැවැත්ම යනාදී සාධකවලට යටත්ව පැවතී ගෙන යන්නක් බව නොරහසකි. සංස්කෘතික ගති ලක්ෂණවලින් පරිපූර්ණ වටපිටාවක් හිමි ලාංකික ජනතාව තුල ලිංගිකත්වය පිළිබඳ ප්‍රමාණවත් තරම් අව‍බෝධයක් නැති අතර නො දැනුවත් ව හෝ අප සියලු දෙනා ම ඒ කෙ‍රෙහි මුළු ජීවිත කාලය පුරා ම දක්වන්‍‍නේ වැඩි අවධානයක් හා කුතුහලයකි සිග්මන් ෆ්‍රොරොයිඩ්‍‍ගේ පෞරුෂ විග්‍රහයට අනුව ලිංගිකත්වය යනු කුඩා කල සිට ම හැඩගැසිමට පටන් ගන්නකි.

කෙටිම උදාහරණයක් ලෙස මේ මාතෘකාව ගත හොත් මාතෘකාව දුටු සැනින් දරුවෙක් මල්ලෙක් ලඟ ඉන්නවා නම් මේ ලිපිය නොකියවා ඉඳී එහෙම කරලා පස්සේ කියවන්න කොහේ හරි සේව් කරගෙන හෝ වෙබ් පිටුව මතක තියා ගනි,ඒ විතරක් නෙවේ sex කියන අකුරු හතර දැක්ක ගමන් පත්තර පිටු,පොත් පිටු හංගනවා වගේම , හාදු දෙන දර්ශන රූපවාහිනිය තුල කොටු දමති, එසේත් නැත්නම් වැඩිහිටියෙක් දඩිබිඩියට චැනලය මාරු කරති.කොල්ලෙක් කෙල්ලෙක්ගේ අතින් අල්ලන් පාරේ ගියොත් උන් දිහා වපරෙන් බලති.අනිකාගේ කනට රහස් කොදුරති. සමාජය ඉදිරියේ දෙදෙනෙක් කිස් එකක් දුන්නත් ලගින් ඉන්න එකාට වීස් එක හැදෙන රටක අපි ජීවත් වන බව කිව යුතුමය.මෑත කාලේදී මුහුදු වෙරලක කුඩයක් යට කපල් එකක් හිටියත් හැදුනුම් පත පරික්ෂා කිරිමට තරම් අනෙකාගේ ජීවිතේ හැඟීම්,ක්‍රියාකාරකම් තීරණය කිරිමට ලාංකීය සමාජය පෙළඹි සිටිම සහා ඉඳිරි අනාගතය හැඩ ගැහෙන්නට හදන මේ තත්වය අපි නතර කල යුතුය. ලිංගිකත්වය ගැන මීට වඩා මනා අවබෝධයකින් කටයුතු කල යුතුය.
ලිංගිකත්වය මූලික වශ‍යෙන් ගත් කල ස්ත්‍රී පුරුෂ වශ‍යෙන් වෙන් කළ හැකි නමුත් ලිංගික චර්යා‍වන්හි දී විවිධ ස්වරූප හඳුනා ගත හැකිය. එනම්,
ස්ත්‍රී + පුරුෂ ලිංගික චර්යා සාමාන්‍ය ලිංගික චරයා වශයෙන්ද
පුරුෂ + පුරුෂ ලිංගික චර්යා
ස්ත්‍රී + ස්ත්‍රී ලිංගික චර්යා
සමලිංගික චර්යා ‍මෙන් ම
මිනිසුන් + සතුන්
අතර ඇති වන ලිංගික චර්යා වශ‍යෙන්ද හදුනා ගත හැක. ෆ්‍රොරොයිඩ් දක්වන අන්දමට ලිංගිකත්වය ආදි යුග‍යේ දී කිසිඳු විරෝධයකින් තොරව ක්‍රියාත්මක වී ඇති අතර. එනම්, සදාචාරය විසින් මිනිසා වෙත තහංචි පනවා නොතිබුණු යුග‍යේ දී සමාජය තුළ අවිචාරමත් ලිංගික චර්යාවන් පුද්ගලයින් අතර පැවැති ඇති බවය.ඒ අනුව බාගවිට එක ම පවු‍ලේ ස‍හෝදර සහෝදරයින් මෙන් ම මාපිය දූදරුවන් අතරත්, විස්කෘත පවුල්වල ඥාතීන් අතරත් ලිංගික සම්බන්ධතා පැවැතුණු බව හඳුනා ගැනිමට හැකි වී ඇත.පසු කාලීනව සදාචාරාත්මක ගති පැවතුම් හා හෘදසාක්ශිය හේතු කොට ගෙන ශීෂ්ඨ සමාජයක් බිහි වු පසු මේ සියළු දේ වෙනස් විය.නමුත් අද සමාජයේ රහසිගතව මෙවැනි සබඳතා නැතිවාම නොවේ.
පුද්ගලයන් තුල පවතින නො‍යෙක් පසුගාමී පෞරැෂ ලක්ෂණයන් නිසා විකෘති ලිංගික චර්යාවන් සමාජය තුළ ක්‍රියාත්මක වන බව නොරහසකී.එ‍බඳු විකෘති හා ලිංගික චර්යාත්මක ගැටලු කිහිපයක් මෙසේ හඳුනා ගත හැක,

01. ප්‍රදර්ශන කාමුකත්වය. (EXHIBITIONISM)

සිය ලිංගික අවයවයන් අන්‍යයන්ට ප්‍රර්ශනය කරමින් ඒ තුළින් මානසික වශයෙන් තෘප්තිමත්භාවයට පත් වීම.

02. දර්ශන කාමුකත්වය. (VOYEURISM)

අනුන්ගේ ලිංගික අවයවයන් හා අන්‍ය ලිංගික ක්‍රියාකාරකම් ඔවුන්ටත් නො දැනීම බලා හිඳිමින් ඒ තුළින් මානසික ආස්වාදයක් විඳිමින් ලිංගික උත්‍‍තේජනයක් ලැබීම.

03. පුජාලාංඡන භක්තිය. (FETICHISM)

විරුද්ධ පාර්ශවයන්ට අයත්, ඔවුන් විසින් පරිහරණය කරනු ලබන හිස‍කෙස්, යටඇඳුම් ආදී විවිධ දෑ ළඟ තබා ගමිනින් හා ඒවා කෙරෙහි දැඩි ආශා‍වෙන් බැ‍ඳෙමින් මානසික තෘප්තියක් ලැබීම යි.

04. ස්වපීඩන කාමුකත්වය. (MASOCHISM)

තමා විසින් ම හෝ අනුන් ලවා තමා වෙත යම් වේදනා ගෙන දෙන ක්‍රියාවන් සිදුකරවා ගෙන ඒතුළින් ලිංගික උත්තේජනයන්ට හුරු වීම තුළින් ලිංගික ආස්වාදයක් බලා‍පො‍රොත්තු වීම.

05. පරපීඩන කාමුකත්වය. (SADISM)

ද්‍‍වේශසහගතව හෝ ලිංගික ආ‍වේග මත විරුද්ධ ලිංගිකයා වෙත දැඩි පීඩා හානි වේදනා පමුණුවමින්, තමා නිසා එ‍සේ වේදනා‍වෙන් පෙ‍ළෙනු දැක ඒතුළින් මානසික වශ‍යෙන් ලිංගික ආස්වාදයක් විඳ ගැනීම.
(වර්තමාන සමාජය තුළ වැඩිම ලිංගික අපරාධ ප්‍රමාණයක් මෙම පරපීඩන කාමුකත්වයට නැඹුරු වූවන් තුළින් සිදු වන බව කිව යුතු අතර.බො‍හෝ විට කුඩා කල දී දෙමාපිය ගුරුවර වැඩිහිටි ආදීන්‍‍ගෙන් විඳින්නට සිදු වූ දඬුවම් ආදිය නිසා. පෞරුෂ‍යේ ඇති වූ යම් යම් දුර්වලතා ඇතුළු තවත් නොයෙකුත් හේතු සාධක මෙවැනි තත්ත්වයන් ඇති වීම කෙ‍රෙහි බලපාන්නට ඇත.)

06. නෂ්ටකාමය. (IMPOTENCY)

ලිංගික චර්යාවන්හි නියැලීමට දැඩි ආශාවක්, කැමැත්තක් තිබුණ ද තමන් තුළ පවතින ලිංගික අප්‍රාණිකත්වය ආදී කායික හේතු සාධක ඊට බාධා පැමිණවීම.

07. නිර්මදතාව. (FRIGIDITY)

මෙය හු‍දෙක් කාන්තාවන් සඳහා බලපාන්නකි.බිය-චකිතය ආදී මානසික හේතු සාධක හෝ වෙනයම් කායික ගැටලුකාරී තත්වයන් මුල් කොට ගෙන ලිංගික ක්‍රියාවන්හි නියැලීමට ඇති මන්දගාමීත්වය හෝ උදාසීනත්වය හෝ අකමැත්ත.

අප සමාජයේ අධ්‍යාපනය හා ආගම ලිංගිකත්වයට සාධරණයක් ඉටු කරනවාද?
අප සමාජයේ ලිංගිකත්වය පූජනීය හරියට බිය විය යුතු රෝගයක් ලෙස පොඩි උන්ගේ මනසට කා වද්දා ඇත. බොහෝ විට ආගමෙන් හා අධයාපන ක්ෂේත්‍රයේ යම් යම් හිඩැස් වලිනි පිට පනින දුර්වල අවස්තා ඉගැන්වීම ක්‍රම නව යොවුන් වියට පා තබව දුවා දරුවන්ගේ සිතුවිලි අවුල් කරනු ඇතැයි මම විශ්වාස කරමි.කෙනෙක් තර්ක කරයි විනයක් හදන්න නම් සංස්කෘතිය රැක ගන්න නම් මේ පවතින මති මතාන්තර තිබිය යුතු යැයි කියා නමුත් සංස්කෘතිය ඉස්සර කරගෙන සිදු වන්නෙත් ලංකාවේ මිනිස්සුන්ගේ නිදහස් සිතුවිලි වලට විලංගු දැමිමක් පමණි.බොහෝ විට මෙවැනි තත්වයන්හී දී (ඉහත සදහන් කල පරිපීඩන කාමුකත්වය)මානසිකව ඇති වන පීඩනය නැති කර ගැනිමට අහිංසක දුවාදරුවන් මෙන්ම ගැහැණු පාර්ශවයන්ද තුච්ච ලෙස කාමාතුරයන්ගේ සංතෘප්තීන් සඳහා බිලි වන බව අපට ජන මාධය තුලින් අතීතයේ සිට අහන්නට දකින්නට ලැබී ඇත.
සමහර ආගම් වල සඳහන් පරිදි ලිංගිකව හැසිරුනොත් පව් පිරෙන බව උගන්වා ළමයින්ගේ මනස විකෘති කරන බව මා විසින් පිළි ගන්නා පරම සතයකී. එවැනි ඉගැන්වීම් රටේ අනාගතයට කරනුයේ මහත් විනාශයක් බව වගකීමෙන් සඳහන් කල යුතුය .ආගම යනු ආත්මය ගමන් ගන්නා මාර්ගය කියා දෙන ඉගැන්වීමක් මිස මනස ආබාධ කරන ඉගැන්වීමක් නොවිය යුතුය
අධ්‍යාපන ක්ෂේත්‍රය ගත් කල ලිංගිකත්වය සඳහන් කර ඇති පාඩම් මඟ හැරිමට බොහෝ ගුරුවරු පුරුදු වී ඇත. එහිදි සටහන් පොත් වල පුරවා ගන්නා කරුණු හැරුණු කොට යොවුන් වියට පා තබන අවධියේ සිටිනා ළමුන් මනසින් ගැටළු සහගත තත්වයකට පත් වනු ඇත. හොඳ සෞඛ්‍ය පුරුදු වලට මළ පහ කිරිමෙන් පසු සබන් ගා අත් සේදීමට අමතරව නව යොවුන් වියට පා තබන දුවා දරුවන්ට අත්‍යවශය කිසිදු දෙයක් පැහැදිලිව කියා දීමට බොහෝ ගුරුවරු පවා මඟ හරින අතර අඩුම තරමේ දරුවෙකු පිළිසිඳ ගැනිමේ ක්‍රියාවලියවත් විස්තර කොට පන්ති කාමරය තුල කියා දීමට නොහැකි ගුරුවරු සිටිම,අධ්‍යාපන ක්‍රමයන් විධිමත්ව නොතිබීම ගැන අපි කණගාටු විය යුතුයි.

එමෙන්ම රටේ අනාගතයේ ඔළු ගෙඩි ඇතුලට ලිංගිකත්වය පරම පිවිතුරු පුජනීය හොර රහසේ විය යුතු දෙයක් ලෙස ඔබ්බවා ඔහුන් මුල සිටම මනසින් ලිංගිකත්වය ගැන සෙවීමට කුතුහලයක් අතැතිව පොළඹවයි.එහි ප්‍රතිඵලයක් ලෙස සිදු වන පරිහානිය ගැන කිසිවෙකුටත් අවබෝධයක් නැත. අපට මතකය ලංකාව එක් කාලයක් sex යන වචනය ගූගල් තුල සෙවිමේ ප්‍රතම ස්තානය හිමි කර ගැනීම හා එය කොපමණ ලැජ්ජා සහගත කරුණක් දැයි විවිධ ලිපි ඵල වුනා එයට හේතුවම මේ ලිංගික කුතුහලය නොවේද?

බොහෝ පාසැල් දරුවන් ගැබ් ගැනිම් ඇති වන්නේ පාසලේ වරදින් හා වැඩිහිටියන් ඔහුන් නිසි කල නිසි ලෙස දැනුවත් නොකිරිම නිසාය.අද වන විට දෙමාපියන්ගෙන් වන ලොකුම වරදක් ඇත එනම් තම දියණිය කොටහළු උයේ යැයි ලොවටම අඩබෙර ගසා ප්‍රසිද්ධ කොට උත්සව ගෙන කෙලිදොලෙන් හිටි කෙල්ලට ඔයා ලොකු ළමයෙක් උනා යැයි පොර මානසිකත්වයක් ලබා දීමය. නමුත් විය යුත්තේ එය නොව කොටහළු වීම හෙවත් ලොකු ළමයෙකු වීම යන්න දියණියට පහදා දීමය.ඇය දරුවෙකු බිහි කිරිමට සුදුසු ශාරිරීක ශක්තියෙන් පරිපුර්ණ වී ඇති බවත්. ඇය පිරිමියෙකු හා සංසර්ගයේ යෙදුනහොත් ගැබ් ගැනීමට හැකි බවත් පාසල් සමයේ ගැබ් ගත හොත් මුහුණ දිය හැකි ප්‍රශ්ණ මෙන්ම ඇයට අනාගතේ සිදු විය හැකිදේ හා එසේ නොවිමට කල යුතු දේ පැහැදිලි කිරිමය.නමුත් දෙමාපියන් දරුවන් සමඟ මෙවැනි දෑ විවෘතව කතා නොකිරිමෙන් සිදු වන්නේ තව තවත් දරුවන් මානසික පීඩන වලට ගොදුරු වීමය. යම් යම් අවස්තා වලදී කුතුහලය මුල් කොට ගෙන වැරදි පුද්ගලයන් සමඟ අනපේක්ෂිත ලෙස ලිංගික පහස අත් හදා බැලිමෙන් තුන් වෙනි ලෝකයේ රටක ගැහැණියකට මුහුණ දිය නොහැකි ගැටළු රාශියකට මුහුණ දීමට සිදුවේ. වැඩිහිටියන් ලෙස අපේ පරම යුතුකම විය යුත්තේ රටේ අනාගතය නිසි ලෙස දැනුවත් කිරිමය.
එමෙන්ම මේ කෙටි සටහන් දෙකද ලියමි.

ලංකාව තුල ලිංගික සංක්‍රාන්තිකයන්ට ඇති පිළි ගැනීම…
ආසියාතික බොහෝ රට වල ලිංගික සංක්‍රාන්ති වූ අයට පිළි ගැනීමක් නැති අතර ශ්‍රී ලංකාව වැනි තුන්වෙනි පන්තියේ රටක ඔහුන්ට නිසි තැනක් ලබා දෙන්නේ නැත. බොහෝ දෙනාගේ අදහස අනුව සිංහල ශබ්ද කෝෂයේ වත් නොතිබ්බ හරියට විග්‍රහ කිරිමටවත් නොදන්න “පොන්නයා” යන වචනයෙන් ඔහුන් හැදින් වීමට බොහෝ දෙනා පුරුදු වී ඇත. එය කුණු හරුප ගනයට දැම්මද එම වචනය සංක්‍රාන්තිකයන්ට පාවිච්චි කිරිම ඉතා අමානුෂික යැයි සිතමි.
ලංකාවේ මිනිස්සුන්ට තමන්ගේ ප්‍රශ්ණ වලට වඩා ඇත්තේ අනුන්ගේ ප්‍රශ්ණය.පිරිමියෙක් පිරිමියෙක්ට ආදරේ කිරිම හෝ ගෑණියෙක් ගෑණියෙක්ට ආදරේ කිරිම ඔවුනොවුන්ගේ කැමැත්ත මිස අපිට කැමැති ලෙස කවුරුත් ජීවත් විය යුතු නැති බව තම තමා පිළි ගන්නේ නම් මැනවී. එහෙත් අනුන්ගේ මළ කුණු ගොඩ දමා ඇවිස්සීමට ඒවාගේ ගඳ සුවඳ බැලීමට ඉන්දියන් සාගරයේ අමුතු ඇටේ මිනිස්සුන්ට ඇත්තේ පුදුම උනන්දුවක් හා කුතුහලයකී.
ලෝකයේ පිළි ගෙන ඇති පරිදි සමලිංගිකයින් රෝගීන් නොවන්නේය.
ඔවුන්ගේ උපතේදී ඇති වන යම් යම් ජානමය වෙනස් වීම් මත ඔහුන්ට මේ තත්වයට මුහුණ දීමට සිදු වී ඇති බව අන්තර්ජාලය පිරික්සන විට හමු වුනී.එම නිසා ඔවුන්ට සාමාන්‍ය මිනිසුන්ට මෙන් අධ්‍යාපනය ලැබිම,රැකියා කටයුතු කිරිම පුර්ණ නිදහස ඇතිව තමාගේ රුචි අරුචිකම් මත සමලිංගිකයන් ලෙස සමාජයේ ජීවත් වීමේ අයිතිය තිබිය යුතුය.පෘතුවි තලයේ ජීවින් ලෙස ඔහුන්ට සමාජයේ නිදහසේ ජීවත් වීමට අයිතියක් ඇති බව අපි විසින් පිළි ගත යුතුය. ඔහුන්ගේ ජීවිතය, ලිංගික තෘප්තීන් ඔහුන්ට රිසි පරිදි විද ගැනීමට ඔහුන්ට අයිතියක් ඇති බවද අප පිළිගත යුතුය.
විවාහය සහ ආදර සබඳතා
පාසැල් සමයේ ප්‍රේම සබඳතා ඇති වීම සාමාන්‍ය කරුණක් වන අතර එසේ නොවෙනවා නම් ඔවුන්ට ලෙඩක් ඇති බව මගේ මතයය. එවැනි සබඳතා පාසලෙන් දැන ගත් විට කල යුත්තේ ඔවුන්ට අවවාද ලබා දී එහි ප්‍රති විපාක පැහැදිලි කර දීමය. නැතුව පාසලේ කීර්ති නාමය රැක ගැනීමට දරුවන්ගේ පෞරුෂයට හානී වන පරිදි දරුවාව පාසලෙන් ඉවත් කිරීමවත් දෙනෝදාහක් ඉදිරියේ කොන් කිරිමවත් නොවන බව මතක් කල යුතුය.එමෙන්ම දෙමාපියන් මෙවැනි අවස්ථා වල සුක්ෂම විය යුතුය.තම දරුවන් රැක ගැනීමට ඇයට කැමති සහකරුවා හෝ සහකාරියට තමන්ද කැමති බව පවසා ඉගෙනිමේ කටයුතු මුලින් අවසන් කිරිම වැදගත් බව පහදා දීමෙන් විය හැකි බොහෝ අවුල් නිරාකරණය කර ගැනීමට හැකි බව මම විශ්වාස කරමි.

විවාහය ගත් කල අතීතයේ සිට තවමත් කේන්දරය මුල් කොට විවාහයන් ඉන්දියන් සාගරයේ අමුතු ඇටේ සිදු වන බව නොරහසකී. මංගල දැන්වීම් තීරුවේ තනිකරම ඇත්තේ කේන්දරේ මුල් කොට ගෙන තම සහකරුවන් සහකාරියන් හොයන උගත් වැදගත් පුද්ගලයන්ගේ දැන්වීම්ය.එහෙමත් නැත්‍තම් දෙමාපියන්ගේ රුචිකත්වය අනුව විවාහ වන යුවලවල්‍ ය. පවුල් ජීවිතේට හෙන ගැහැව්වත් කමක් නැතුවා සේ දෙමාපියන් තම දරුවට සහකරුවෙක්/සහකාරියක් නොව කේන්දරේට කේන්දරයක් හොයන්න තරම් සමහර දෙමාපියන් මෝඩ වී ඇත. අවසානයේ විවාහ ජීවිතය,දරුවන්ගේ ජීවිතය අවුල් ජාලයක් බවට පරිවර්තනය වේ. දෙමාපියන් ලෙස අපේ යුතුකම අත පය හතර ලොකු කර ගුණදහම් ටික අකුරට ඉගැන්වීම හා හොද අධ්‍යාපනයක් ලබා දීම පමණී ඉතිරි ජීවිතේ ඔහුන් විසින් සොයා ගනු ඇත.

දයාබර දෙමව්පියනී දරුවන්ට අවවාද අනුශාසනා ලබා දෙන්න ජීවිතය නැමති හොද්ද හදන හැටි තරුණ දුවාදරුවන්ට කියලා දෙන්න පසු කලෙක උන්ගේ හොද්ද උන් කූරු ගා ගනී.අවශ්‍ය ලුණු ඇඹුල් උන්ම දා ගනී.දෙමාපියන් කැමති මනුස්සයා බැදලා මනසින් විදවන දුවලා ඕන තරම් පුතාලත් ඕන තරම් ජීවිත ඔහේ නාස්තී වෙනවා. පවුල් අවුල් වෙනවා ඒ නිසා ඔහුන්ට ඔහුන්ගේ ලිංගික ජීවිතයට,පවුල් ජීවිතයට ගැලපෙන සහකරුවෙක් සහකාරියෙක් තෝර ගන්න උපරිම නිදහස දෙන්න. මම නම් කැමති පිටරටවල තියෙන ” living together” සංකල්පයට අඩුම ගානේ තමන්ට ගැලපෙන්නෙ නැත්තම් ගැලපෙන කෙනා තෝරා ගැනිමේ අයිතිය ඒ අය නිදහසේ බුක්තී විදිනවා. ඔහුන් නිදහස් ලිංගික චර්යයාවන් අනුගමනය කරන අතර ඔහුන්ගේ දින සටහන් ඉතා නිදහස් පහසුකර ඒවාය. ආහාර පාන ඉදුම් හිටුම් මෙන්ම ලිංගික පහසද ඔහුන් රිසිසේ නිදහස්ව බුක්තී විදී.
අවසාන වශයෙන් සඳහන් කරනුයේ ලිංගිකත්වය යනු තව දුරටත් රහසේ කතා කල යුතු බිය විය යුතු දෙයක් නොවන බවත් මහ මිනිස්සු හැදීමට පරක්කු වූවත් දරුවන්ට ලිංකත්වය ගැන පූර්ව අවබෝධයකින් කටයුතු කිරිමට අවශය දැනුම ලබා දීමෙන් රටේ අනාගතයේ ඔළු ගෙඩි ටික මානසික පීඩනකාරී තත්වයෙන් මුදවා ගෙන ජීවිතේ අනෙකුත් අවශයතා හා උවමනා මෙන්ම ලිංගිකත්වයද සරල දෙයක් බව වටහා ගෙන ජීවත් වීමට මඟ පෙන්විය යුතුය.

කරුණු ගොනු කිරීම අන්තර්ජාලය ඇසුරෙන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *