මළ පසු සම්මාන සොරකම් කලාවට ගැරහීමකි

දිවංගත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට හිමි වූ ජාත්‍යන්තර සම්මානයක් අවමංගල්‍යොත්සවය අතරතුර නිවසේදීම ස්වර්ගස්ථ වී ඇත.

එය 1965 වසරේ පැවති 03 වැනි දිල්ලි අන්තර්ජාතික සිනමා උළෙලේ දී ගම්පෙරළිය චිත්‍රපටය වෙනුවෙන් හිමි වූ රණ මයුර සම්මානය ( Golden Peacock Award ) බව පැවසුණ ද ගම්පෙරළිය ට හිමි වූ සම්මානය අලුතෙන් අතුරුදන් වන්නට දෙයක් නැත. එම චිත්‍රපටය නමින් පිරි නැමුණු සම්මානය අස්ථානගත වන්නේ චිත්‍රපටයේ නිෂ්පාදකවරයා සමීපයේ තිබියදී ය. ඒ මීට විසි වසරකට පමණ පෙර ය.

අද වන විට අතුරුදන් වී ඇත්තේ 31 වැනි ඉන්දියානු අන්තර්ජාතික සිනමා උළෙලේ දී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් වෙත පිරි නැමුණු යාවජීව සම්මානයයි. එදා 60 දසකයේ දී දිල්ලි අන්තර්ජාතික සිනමා උළෙල ලෙස හැඳින්වුණේ ද මෙම සිනමා උළෙලමය.

ඒ නැතත් ලෙස්ටර් සූරීන්ගේ සම්මාන වලට ඇත්තේ සුළු පටු අපලයක් නොවේ. මා නිවැරදි නම් පොල් කඩන්නට පැමිණි මිනිසෙක් ලෙස්ටර්-සුමිත්‍රා නිවසින් සොරාගත් සම්මාන පෝර උරයක දමාගෙන ඩික්මන්ස් පාරේ යද්දි පොලිසියට හසුවන්නේ 2008 වර්ෂයේ දී ය. එය ලංකාවේ පොල් මිල අහස උසට නැගි කාලවකවානුවකි. එවක ඉරිදා ලක්බිම කාටුන් ශිල්පියා වූ දර්ශන කරුණාතිලක එම සිදුවීම සිතුවමට නැගුවේ වියපත් ලෙස්ටර් සූරීන් සුමිත්‍රාවන්ට සිදුවීම පැහැදිලි කරන රූපයකිනි. ඔහු වික්ෂිප්තව මෙවැන්නක් පවසයි. ” සුමිත්‍රා .. මම අල්මාරියේ තිබ්බ සම්මාන ටික එළියට අරං කඩපු පොල් ටික ඇතුළට දාලා එන කොට තමයි … ”

මේ වන විට ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා අප අතරින් වෙන් ව ගොසිනි. ජීවත්ව සිටින ලෙස්ටර්ට නොදැක්වූ අවධානයක් ලෙස්ටර් නොමැති කල සම්මානයක් උදෙසා වෙන් කරන්නේ කුමකටද යන්න සුමිත්‍රාවන් වුවද සිතනවා ඇත.

ලාංකේය සිනමාවේ රිදී රේඛාව වූ ලෙස්ටර් ජේම්ස් පීරිස් අනූ නම වසක් ආයු වළඳා මෙලොවින් සමුගන්නේ ලාංකේය සිනමා සියක් වසක හුදෙකලාව ගිල්වා දමමිනි.

1919 වසරේ උපන් ලෙස්ටර් ට වසර දහයකට පසුව උපන් ඈන් ෆ්‍රෑන්ක් නම් යෞවනිය වයස අවුරුදු දහසයේ දී ජීවිතයෙන් සමුගන්නට පෙර තම ඉතිහාසගත දිනපොතෙහි මෙසේ ලියන්නීය.

“Dead people receive more flowers than the living ones because regret is stronger than gratitude”

“මළගියවුන්ට පිදෙන මල් පොකුරු ගණන ජීවත් වන්නවුන්ට ලැබෙන මල් පොකුරු ගණනට වඩා ඉහළය. කෘතගුණයට වඩා පසුතැවිල්ල බලවත් ය”

දහසය හැවිරිදි හුදෙකලා යුදෙව් දැරියක විසින් අනූ නව හැවිරිදි ලෝ පසිඳු දකුණු ආසියානු සිනමාවේදියෙකුගේ අනාගතය විනිවිද දැක තිබිණ.

– සහන් කසීර වික්‍රමසිංහ –

Leave a Reply

Your email address will not be published. Required fields are marked *