ලංකාව වගේ රටක කවියෙක් වෙන එක අවාසනාවක් – දිදුලංගනී බුද්ධිකෝරාල

ඇය අතිශය නිර්මාණශීලී ලියන්නියක්.. මනුස්සකම, ආදර, සෙනෙහස, විරහව පොදු ඕලාරිකත්වයෙන් මිදී නවමු ලෙස අකුරු කරන්නියක්… දෙහිවල වෘත්තීය පුහුණු අධිකාරියේ ත්‍රිමාණ සජීවිකරණ අංශයේ පාඨමාලාවක් හදාරන්නියක් … නමින් ඇය, දිදුලංගනී බුද්ධි කෝරාලය. ඇය මේ වන විටත් මාධ්‍යවේදිනියක් ලෙස lankatarget.com වෙබ් අඩවියේ හැඩකාර ලියන්නියක් ලෙස කටයුතු කරනවා… ඇය සමග මේ දොඩමළුව ඇරඹෙන්නේ .. එළඹෙන 19 වන දා ඇයගේ කුළුදුල් කාව්‍ය කෘතිය දොරට වැඩුම නිමිත්තෙන් … පහත පළ වන්නේ ඒ කතා බහේ අකුරු නිමාවයි…

කුඩා කාලයෙ සිටි කවි ලියනවාද ?

කුඩා කාලයේ සිටම ගත කළේ හුදෙකලා ජීවිතයක්.ඒ නිසා දැණෙන හැඟෙන දේවල් පරණ පොත් වල අන්තිම පිටු වල ඇතිරුවා. ඒත් ඒ ලියවෙන්නේ “කවි” කියලා මම දැනගෙන හිටියේ නැහැ.

කොහෙන්ද මේ හුරුව ..?
හැම කෙනෙක්ටම සුසංවේදී හදවතක් විවර ගත්තොත් කවියෙක් වෙන්න පුළුවන්. ඒත් මට මේක තාත්තාගෙන් ලැබුණු වටිනාම තෑග්ගක් කියලා විශ්වාස කරනවා..

බොහෝ විට තාරුණ්‍යයට එළඹෙන ගැහැණු ළමයෙක් හෝ පිරිමි ළමයෙක් කවි ලියන නිරායාසයෙන් පෙළඹෙන්නේ “බූට් ,, එකක් කෑවට පස්සේ කියල මතයක් තියෙනවා.. ඔබට එහෙම දෙයක් වුනාද මේ පෙළඹුම හදන්න ?

කිසියම් සිද්ධියක් අළලා යමක් නො ලියන්න කවදාවත් කවියෙක් බිහි නොවෙන්න තිබුණා. “අත්දැකීම්” කිව්වාම බහුතරයකගෙ අදහස වෙන්නේ, ඒක තමන්ටම විය යුතු සිද්ධියක් හෝ සිද්ධි දාමයක් විය යුතුය යන්නයි. ඒත් ඒක එහෙමම නෙවෙයි. මේ පෙළඹුමට මම හැරුණු කොට හැබෑම අයිතිකාරිණියක් ඉන්නවා..”ඈ ආදරය හැඟෙව්වේ නෑ, පරිස්සම් කළා. විඳවන්න ලැබුණු ජීවිතය විඳින්න උත්සහ කළා ඒ හැමදාම ඇගේ හිතේ ඇති වුණ පීඩාවෙන් එළියට ආව වේඳනාව මම තුළින් කවියක් වෙලා සැහැල්ලුවෙන් පොත් පිටු වලට මුවා වුණා.!

වඩා ආදරණීය කවි සහ විරහව අඩංගු කවි මේ කවි පොතේ පිරිලා .. මේ ජීවිතයද අකුරු කරන්නේ ?

ඇත්තටම, ඒ මොහොත තුළ මම විඳිමින් විඳවමින් හිටිය ජීවිතය විදියට මා හිතවතිය හැඳින්විය යුතුමයි..

ඔබ කරන නිර්මාණ තුළ පියා ගැන වන නිර්මාණ වැඩියි.. පීතෘ සෙනෙහසට මේ තරම් ලැදි ඇයි ?

තාත්තගෙ ආදරේ ගැන කතා නොකෙරුවට අපි කවුරුත් ඒ ආදරයට ලෝබයි. ඊටත් වඩා තාත්තගෙ ආදරේ දුවෙක්ගෙ පපුවට දනවන සැනසීම මහ මෙරක්. තාත්තා කෙනෙක් දුවෙක් කියන්නේ නිහඬව ආදරේ කරන දෙන්නෙක්. දුවෙක් ඉන්නේ තාත්තගේ ලේ,ඇට,මස්, නහර වලට කා වැදිලා. ඒකයි අම්මට කේන්ති ගියහම කියන්නේ “තාත්තට උණ ගැනෙන්න ගහනවා කියලා.” ඒ සැනසීම එක දවසකදී මගෙන් ඈත් වෙලා අහසේ කෙළවරක පාඩුවේ තරුවක් වෙලා පායනවා..! ඉතිම් මං තාත්තට එදාට වඩා අද බැඳිලා..!

කවිය වර්තමාන සමාජයේ කුමන තලයක පවතින්නේද යන්න ගැන පැවසුවොත් .. ඒ කිව්වේ සමාජ මත වෙනස් කරන අවියක් පරිදිව ?

වර්තමාන කවිය රාමුව බිඳින්න පටන් ගෙන. මේ රාමුව කුඩු පට්ටම් කරලා දාන්න වර්තමානයේ බිහි වෙන කවි උත්සහ කරනවා.සමාජ මතකයක් වෙනස් කරන එක ලේසි පහසු දෙයක් නෙවෙයි. මුලින් යන කෙනාට ගල් වදිනවා. ඒත් කාලයත් එක්ක වර්තමාන කවිය ඒ මතය වෙනස් කරයි කියලා විශ්වාස කරනවා.මොකද මිනිස්සුන්ට දැන් වෙනසක් ඕන.

බොහෝ කවි ලියන්නන් කිසියම් ආරක් අනුගමනය කරනවා.. ආකෘතීන් හා වස්තු විෂයන් සම්බන්ධයෙන් ඔබ කුමන ආරක කවිද නිර්මාණය කරන්නේ ?

මම තුළත් එක්තරා විදියක කවියෙක් ජීවත් වෙනවා කියලා දැණුනු තැන ඉදගෙන මම අනුගමනය කරන්නේ මං ඇතුලේ ඉන්න කවියා ම විතරයි. මොකද මට තව කෙනෙක් වෙන්න ඕන කමක් තිබුණේ නෑ. මට ඕන වුණේ මම වෙන්න. ඒ නිසා මගේ කවි වල කිසිම අනුගමනයක් නැහැ.. මං ඒ මොහොතෙ විඳින දේ සංයමයෙන් කවිගත කරනවා.

සමස්ථ කවිය සම්බන්ධයෙන් පවතින මතය වන්නේ එය හුදු ආදරය පිළිබද පමණක් වාක්‍යාලාපයක් ලෙස පවතිනවා යන්න මිස සමාජ යථාර්තය ගොඩ නැගිමට සමත් නොවේය යන්න .. මේ පිළිබද ඔබගේ අදහස කුමක්ද ?

ලංකාව වගේ රටක කවියෙක් වෙන එකත් එක්තරා විදියක අවාසනාවක්. නවක කවි තුළ තියෙන්නේ ආදරයෙන් හට ගනිපු අඳෝනාව්ක් විතරයි කියලා මතයක් ගොඩ නැඟිලා තියෙනවා. ඉතින් මට කියන්න ඕන, ආදරය කියන්නේ සමාජයට අවශ්‍ය දෙයක්. සමාජ යතාර්ථය ගොඩ නගන්ම කලින් තමන් ගොඩ නඟිලා සිටිය යුතුයි.. මිනිස්සු කැමතී ඉක්මනට දුක එක්ක බැඳෙන්න.
කවියෙක් එතනදි, මතුපිටින් පේන සතුටේ නිදන්ගත වෙච්ච දුක හාරා අවුස්සනවා.ඔතනදි ආදරය කියන කාරණාව එක්ක ප්‍රබලවම ඉස්මතු වෙනවා.

ඔබ කවියට පමණක් නොවන තවත් විෂය ධාරාවන් කිහිපයක් මත නිර්මාණ කරණයේ යෙදෙන්නියක් ඒ පිළිබද ව සදහන් කළොත්

මෙහෙම ගමනක් එන්න හිතුවේ නැහැ.මූලිකවම තවම මම ත්‍රිමාණ සජීවිකරණ අංශයෙන් වැඩි දුර අධ්‍යපානය හදාරණවා..ඊට අමතරව ජායාරූපකර්ණය, ගීත රචනා කිරීමට යොමු වෙලා ඉන්නවා..

හිතවතිය කවද්ද ? කොතැනද ? කාගේ මූලිකත්වයෙන් දොරට වඩම්මන්නේද ?

“හිතවතිය” කියන්නේ මගේ දරුවා.ඉතින් ඒ දරුවා එළඹෙන වෙසක් මහේ 19 දා හවස තුනට මහවැලි කේන්ද්‍රයේදි මේ ලෝකේ එළිය දකිනවා. හිතවතිය ගැන කතා බහට මිරාන් දමීන්ද්‍ර පෙරේරා සහ කසුන්සලා ගිම්හානි යන අය ඒ හෝරා කීපයට එකතු වෙනවා. ආරාධනා කරනවා හිතවත්කම අරගෙන හිතවතිය එක්ක හිතවත් වෙන්න එන්න කියලා.

 ඉදිරියේදී කුමන නිර්මාණයකින්ද යළිත් කළඑළි බැසීමට සිතා සිටින්නේ ?

මේක පළමු පියවර. අදහස් උදහස් එක්ක වෙනසක් කරන්නයි බලාපොරොත්තුව. මේ රාමුව බිඳ දාලා එලියට එන්න බැරිව විළි රුදා හඬ නඟලා මර ලතෝනි දෙන අයට පාරක් කපාගෙන ම මගේ ම ගමනක් යන්නයි මේ ඉව ඇල්ලීම.

සාකච්ඡා කලේ – තුසිත පතිරණ

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *