මගෙ ඇතුලෙ ඉන්න මිනිහව මරාගන්න බැරිව රස්සාව, ප්‍රේමය, ඔක්කොම දමල ගහලයි ලියන්න ආවේ – රූකාන්ත් සුබසිංහ
භාෂාව කවර ලෙස නිර්මාණයක් සාර්ථක වීමට බලපාන්නේ ද ?
භාෂාව ඇත්තටම වැදගත්. කොයි භාෂාවක් වත් අපිට නරකයි කියන්න බෑ. ඒත් හැමෝටම තියෙනවා තමන් පරිකල්පනය කරන භාෂාවක් ඒක ගොඩාක් දුරට තමන්ගෙ මව් භාෂාව. නිර්මාණයකදි භාෂාව ජීවියෙක් කරන්න පුලුවන් නම් ඒක ගොඩක් වටිනවා. ඒ කියන්නෙ නිර්මාණය තුලදි යොදාගත්ත භාෂාවට පුලුවන් නම් දාඩිය දාගන්න කඳුලු හලාගන්න මළමූත්‍රා කරගන්න. අන්න එතැන්දි හොඳ නිර්මාණයක් බිහිවෙන්න පුලුවන්.
ඔබ භාෂාව පට්ට ගසා ඒක මතින් ආදරය සොයන නිමැවුම් කරුවෙක් … මොකද කියන්නේ ඒ ගැන ?
මම නිර්මාණයට සීයට සීයක් අවංකයි. මම ලියන්නෙ මට දැනෙන තැනින්. කිසිම විටක කෘතිම ආරෝපණයක් කරගන්න යන්නෑ කිසිම එකක් මම. මගෙ ජීවිතයම හිතුවක්කාර ජීවිතයක් ඒ හින්දා මගෙ නිර්මාණත් ගොඩාක් හිතුවක්කාරයි ඒ වෙනුවෙන් ඈඳන භාෂාවත් හිතුවක්කාරයි.
කවියාගේ සමාජමය දෘෂ්ටිය වර්තමාන කවියෙන් හෝ නිර්මාණ තුළින් ගිලිහී ගිය බවට චෝදනාවක් තිබෙනවා.. ඇයි ඒහෙම වෙන්නේ ?
සිස්ටම් එකට බැණ බැණ ඒ සිස්ටම් එකෙන්ම ගොඩ යන පිරිස වැඩියි. පෘථිවි රහ නොවින්ද කෙනාට බැහැ වෙන කිසිවක් විඳගන්න. ලංකාව කෘෂි කාර්මික රටක් කීවාම ඔක්කොම හිතන්නෙ වී වගා කරන්න ඕන කියල ලංකාවේ හැම අස්සක් මුල්ලක් නෑරම ඒක නෙමෙයිනෙ ඇත්ත. ඒ ඒ පොළවෙ සරුවන බෝග එකිනෙකට වෙනස්. මන් හිතනව එතැන මේ ප්රශ්නය ට හරි උත්තරය තියෙනවා කියලා
කවියා ජාතිවාදියෙක්ද ?
නෑ කලාකරුවෙක්ට සීමා මායිම් නෑ.. ජාතිවාදියකුට කවදාවත් සැබෑ කලාකරුවෙක් වෙන්න බෑ. කවියෙක් කියන්නෙ සෑම වස්තුවකට ප්‍රාණය ආරෝපණය කරන්න පුලුවන් අපූරු මිනිසෙක්. එහෙම අයෙක්ට කවදාවත් බෑ ජාතිවාදියකු වෙන්න.
මුහුණු පොතේ ඔබ යථාර්තය පහදන අපූරු මිනිසෙක් .. මහ පොළොවේදී ඔබ කවරෙක්ද ?
මගෙ ඇතුලෙ ඉන්න මිනිහව මරාගන්න බැරිව මම රස්සාව ඇතෑරියා.. ප්‍රේමය අතෑරියා.. තවත් දේ.. මෙ ඔක්කොම මම දමලා ගහලා ආවෙ බඩගින්නේ මැරුණත් මෙහෙමම ඉන්නවා කියන දැඩි මතය මටම අණ කරගෙන.
කවියක හෝ ටෙලියක හෝ චිත්‍රපටය යථාර්තය පිළිබිඹු කිරීම මේ වන විට වැඩි අලෙවියක් සහිත දෙයක්.. මේ අලෙවිය හේතුවෙන්ම යථාර්තය බලෙන් පටවන්න බොහෝ නිර්මාණකරුවන් සමත් වෙනවා.. මේ නව ප්රවනතාවය ගැන කිව්වොත් ?
හොඳයි.. කෘතිම නොවන තාක්. සමහර විට ඒක හයිලයිට් කරන්න ගිහින් නිර්මාණය පුරාවට තියෙන අනෙක් දේ බාල වෙන්න පුලුවන්. නෙල්ලි ගෙඩිය ඇතුලෙ රස ගොඩාක් තියෙනවා කරන නිර්මාණයක් එහෙම නෙල්ලි ගෙඩියක් වගෙ කරන්න පුලුවන් නම් හොඳ සාර්ථකත්වයක්.
නිර්මාණය ජීවිතය වූවාද නැතිනම් ජීවිතය නිර්මාණය වූවාද ? පොතක් කිරීම දක්වා ගමන ගැන කතා කළොත්?
අපි සොබාදහමෙ මිනිස්සු. සොබාදහම නළවන නැළැවිල්ලෙන් නැළවෙන මිනිස්සු. තෙරුම් ඇතුව හෝ නැතුව අපි ඒ තුලයි ජීවත් වෙන්නෙ ජීවත් විය යුතු වන්නෙ.
අප්‍රේල් පළමු වෙනිදා මොනව ද වෙන්නේ ?
මම ලීව කෙනෙක් නෙමෙයි. ඒත් වසරකට ඉහත ඉඳන් මාත් මුහුණු පොතෙ ලියන්න ගත්තා. මුලින්ම ලීවෙ කවැකි(කවිත් නොවන වැකිත් නොවන මගෙ ඒ වචන හරඹයට මමම දාගත්ත නම). ඒ කවැකි මිනිස්සුන්ට එතරම් සනීප සමීප වුණේ නැහැ. පසුවයි කතා ලියන්න ගත්තෙ. මේ වෙද්දි මුහුණු පොතට මාස නවයකට ආසන්න කාලයෙදි කතා හාරසීයකට කිට්ටු ප්‍රමාණයක් මුදා හැරලා තියෙනවා. ඉන් තෝරගත්ත කතා අනුවක් පොතකට ගත්තා. ඒ පොත “ඒ ජීවිතයේ සෙවණැලි” නමින් අප්‍රෙල් පළවෙනිදා සවස තුනට කොළබ මහවැලි කේන්ද්‍රයෙදි එළිදැක්වෙනවා..
සාකච්ඡා සටහන – තුසිත පතිරණ
මේ හෙවනැලි ගැන ලියන මිනිහා ඇත්තට ම ” පොරක් “. ඌට මේ රට පුංචි වැඩියි. මේ මිනිහව විකුණන්න බෑ. ඒ තරමට වඩා වටිනවා. මූට මිලක් නෑ. අගයක් දෙන්න බෑ. පුලුවන්නං මේ මනුස්සයාගෙ ජීවිතේට දීර්ඝායුෂ පතන්න. මේ වගෙ මිනිහෙක් පොළොවට පස්වෙන්න ඉක්මනින් ඉඩ නොලැබෙන්න කියන පැතුම එක්ක. උඹට ජය සහෝදරයා
Ruu,
Ruu rataawak mawanawa palawenidhata….
Ruu liwwe api hemogema katha,
Ruu kiyewwe api hemoogema wachana,
Ruu aadaraya kalee api hemogema hadhawath walata,…
Adharei ruu
සුබ
පැතුම් රුක්නාත්…………..