ඔය ළමයගෙ හිත දැන් සැහැල්ලු ද ?

“අපෙ හාමුදුරුවනේ, බෝ මළුව අමදින්න කියලා”
“කොයිතරම් දෙයක් ද ”
“මේපාර ලේ දන් දීමේ කදවුර ඒම නැති පාටයි.”
“ජුනි 3 වෙනිදා සංවිධානය කරලයි තියෙන්නේ, සහභාගී වෙන්න, අනිත් උදවියටත් කීවනම් හොදා.”
“එහෙමයි අපෙ හාමුදුරුවනේ.”
“හ්ම්ම්..” වමතින් සිවුරු ඕට පිළිවෙලක් කරගත් පන්සලේ ලොකු හාමුදුරුවෝ මට එහෙම කියද්දි,
“අවසරයි අපෙ හාමුදුරුවනේ” යැයි කියා නික්මී බෝ මළුව වෙත ඇඳුණා.

බෝ මළුව පුරාම බො පත් විසිරිලා. සුළඟත් එක්ක සෙල්ලම් කරනවා. මං ආයෙමත් පඬිපෙල බැහැගෙන ඇවිත් ඉඳල හොයාගෙන බෝ මළුව අමදින්න සූදානම් වුණා. කපුටන් ඇවිත් බෝ ගෙඩි කාලා හැමතැනම අපිරිසිදු වෙලා. ඒ එක්කම බෝ ගෙඩියක් මගේ ඔලුවට වැටිලා පොළිව සිප ගද්දී, මගේ මූණම ඇඹුල් වුණා. බෝ මළුව තිබුණේ විශාල ගල් කිහිපයකට මැදිව. වන අරණක තිබුණු නිසාමද දන්නේ නෑ හරිම නිස්කලංක වටපිටාවක් හැමදාම පන්සලේ ගොඩ නැගෙනවා.පැයක් දෙකක් නිදහසේ ඉන්න කියාපු තැන.

විසිරිලා තිබුණු බෝපත් වලට රිදෙයිදෝ කියලා බයට මං හරිම සීරුවට බෝපත් එකතු කටන්න ගත්තා. ඒත් සුළඟ නම් ඊට ඉඩක් දුන්නෙම නෑ. අමාරුවෙන් අමාරුවෙන් බෝ මළුව ඇමදලා, මල් ආසනත් පිරිසිදු කරලා අද්දර ගල් පර්වතයේ පාමුල මං එරමිණිය ගොතාගෙන වාඩි වුණා. ඒ වෙද්දී ඉරත් අවරගිරිට බැහැගෙන යනවා.

සෙලවෙබ බෝපත් වල සිසිල ඇඟේ හිරිගඩු පුප්පවන්න හරිම දක්ෂයි. අමිහිරි මතක ගොන්නක් එක පාරම අහසින් කඬාගෙන වැටෙනවා වගේ මගේ හිත උඩට කඩාගෙන වැටෙද්දී මං කල්පනා කරේම, බුදුහාමුදුරුවන්ගෙ පිහිටවත් මට නැද්ද කියලා.

කාලයක් තිස්සේම හිතවතුන් එක්ක හිටිය මම, කාලයක් තිස්සේ ගිහිසැපම විඳි මම , ගිහි ගෙයි සතුට හියපු මම, කාලයක් තිස්සේම බැඳීම් වලින් තෘප්තිමත් වුණ මම දැන් මැරුණ මළ කඳක් හා සමානයි.! මම එක තැනක මගේ ආත්මය තව තැනක වගේ මට දැණෙන්න ගත්තා.
ජීවිතේ කියන්නෙම තෝර ගන්න බැරි පටලැවිල්ලක් කියලා මට දැණුන වාර අනන්තයි. නහය උඩට වැටුණු වැහි බිංදුව මට ගෙදර යන්න ඉඟි කරත් මම තවත් වෙලා හිටි විදියටම ගල්පාමුල හිටියා..

සුළඟට සතුටු වෙන ගස් කොළන් අස්සෙන් කහ වතින් සැරසුණු ලොකු හාමුදුරුවො මේ පැත්තට වඩිනවා ඇස ගෙන කොටම මම ඉරියව්ව වෙනස් කරලා නැඟිට්ටා. පියවර දෙක තුනක් ඉස්සරහට ගිහින් ලොකු හාමුදුරුවන්ට නමස්කාර කර මට,
“සුවපත් වෙත්වා.” යැයි හිත පැහැදෙන හඬින්.

“ඔය ළමයගෙ හිත දැන් සැහැල්ලු ද ”
“ඔව් අපෙ හාමුදුරුවනේ”
“හිතේ දැවෙන ප්‍රශ්න, පරිසරය එක්ක බෙදා ගන්න. එතකොට හිතට ලොකු සැනසීමක් වෙයි.”
ලොකු හාමුදුරුවො මගේ හිත කියවනවත් ද ? මම පුදුම වෙලා මගෙන්ම ඇහුවා.
“අපෙ හාමුදුරුවනේ..”
“ඇයි මගෙ දරුවෝ”
“අපෙ හාමුදුරුවො මහණ දම් පුරන්න ආවේ ඇයි”
“පුතේ, සිදුහත් කුමාරයා ගිහි ගෙයින් නික්ම ගියේ ඇයි කියලා මම ඇහුවොත්..”
මම කරබාගෙන හිටියා..
“මහ මුහුද ළඟට ගිහින් වතුර ටිකක් දෝතට ගන්න, අන්න ඒ දිය දෝත තමයො ගිහි ගෙයිහි සතුට. අනිත් ඉතුරු සේරම ගිහි ගෙයිහි දුක”
“බැඳීම් දුකක්මයි අපෙ හාමුදුරුවනේ. බැඳීම් අල්ල ගන්නකම් සතුටක්. ඇතැරී ගිය වෙලාවෙ ඉදන් හද කම්පා කරවන වේඳනාවක්..” මම කරබාගෙනම කිව්වා..

“මගෙ පුතේ, බුදුහාමුදුරුවො එක තැනක කියනවා,
හඬා වැළපීම තුලින් කිසිදිනෙක මළවුන් යළි එන්නේ නෑ කියලා.
තවත් තැනක දේශනා කරනවා,
“නහි රුන්නේන් සෝකේන – සන්තිං පප්පෝති චේතසො
භීයස්සුප්පප්ජතේ දුක්කං – සරීරං උපහඤ්ඤති.
..හඬා වැළපීමෙන් සෝකයෙන් කල් ගෙවෙන කොට, හිතට කිසිම සුවයක්, සහනයක් නෑ.ඇඟපත පවා තැලී පොඩි වී ගිහින් වගේ ලොකු දුක් ගොඩක් ශෝක කිරීමෙන් තමන් තුල හා ගන්නවා..

ඉතින් මගෙ පුතේ, ඔයත් දැන් ඒ හා සමානයි.
“එහෙමයි අපෙ හාමුදුරුවනේ”
“හිතන්න, මැටි බදුන් හදන කුඹල් කාරයෙක් වෙහෙසිලා වෙහෙසිලා ඔප දාන මැටි බදුන් සියල්ලම ක්ෂණයකින් බිම වැටිලා බිඳිලා යනවා වගේ මහන්සියෙන් ඇති කර ගන්නා බැඳීම් සියල්ල මොහොතකින් බිඳී යනවා..

“හැමදේම අස්ථිරයි කියලා දැන දැනම හිත ඒ පස්සෙමයි යන්නේ..”
” ඒ මේ හිතේ හැටි මගෙ පුතේ..”
“බැඳීම් ගිලිහිලා ගියාම දැණෙන දුක තරම් අපහසු දෙයක් තවත් නෑ අපෙ හාමුදුරුවනේ.මේ බෝ පත් නිදහසේ සෙළවෙනවා. අපිටත් හිතේ ඒ තරම්ම නිදහසක් තියේනම් කොයි තරම් දෙයක් ද ?”

“තුවාලේ වේදනාව දන්නේ තුවාලේ අයිතිකාරයා.මම නුඹේ හිත හදන්න කරුණු පැහැදිලි කරාට මට නුඹේ දුක ගලවලා ගන්න බෑ.ඒ මේ හිතේ හැටි..” ලොකු හාමුදුරු හිත හැදෙන්න කරුණු පැහැදුවෙ තාත්තෙක් දුවෙක්ගෙ හිත හදනවා වගේ.

අවසානයේ ලොකු හාමුදුරුවෝ කිව්වේ,
“තමන් සමඟ කාලයක් ජීවත් වූ කෙනෙකු අතැහැර දාලා යනකොට හිතේ හට ගන්න දුක, ශෝකය, වැළපීම දුරින් දුරු කරන්න රහතුන්ගෙ ධර්මය අහන්න ඕන” කියලා..

එක දෙක එකතු වුණු වැහි බිංඳු හීනියට එකතු වෙලා පහළට කඬා වැටෙන්න ළඟයි. ලොකු හාමුදුරුන්ට වැඳ නමස්කාර කොට හිතේ දුක සුළඟට පා කර ගෙන යන්නට විසි කරමින් මම නික්මුණා..

“තමන් කැමති පරිදි ඒ ඒ දේ මෙහෙම සිදු විය යුතු යැයි සිතා කොයිතරම් සිහින මැවුවත්, නොසිතූ දෙයක් නොසිතූ ලෙසටම සිදුවෙනවා.
මේ ලෝකේ තුළ පවතින වෙනස්වීම් වුණු අනිත්‍ය ස්භාවය ලෝක ධර්මයක් ලෙස දැකිය යුතුය.
.
~.දිදු.~

Leave a Reply

Your email address will not be published. Required fields are marked *