වැහි කදුළු – රුවිනි හර්ෂිකා දිසානායක

මගේ ඇස් දෙක දකින්න ආශත් නැති ආශම දෙයක් තමයි මේ වැහි අන්ධකාරය.

පුංචි කාලේ ඉදන්ම එහෙමයි.වැස්සට අර අදින කලුම කලු පාට අහස හරියට මං ආදරේ කරන අලුපාට හීනයක් වගේ.

වැස්ස වහින්න අදුරු කරනකොට මගේ හදවතත් කෙත් වතු කපල ඉවර වුනූ වෙල් කුඹුරු යායක් වගේ පාලු මුස්පේන්තු සිරියාවක් ගන්නවා.

වැස්සට කලින් ගස් කොල,ගිනිගත්ත අලු කෑලි කොල අරන් හුලග අපේ වත්ත මැදින් යනවා.වැස්සක් එන්න කිට්ටුව ටික් ටුක් ගගා පිපිරි පිපිරි දැවෙන ගිනි ගොඩක් නම් කොහෙන් හෝ දකිනවා අනිවාර්යයි.

හරියට වැස්සට පෙර පරිසරයට ආභරණයක් වගේයි ගිනිගොඩ.ඒ නැගෙන ගින්නට දුමට මං හරි ආදරෙයි.

මකුලු දැල් මල් පොකුරු පොකුරු හැදෙන්නෙත් ඔය කාලෙට.ඒවා හුලගට ඇවිත් මකුලු දැල් වල රැදෙනව දකින නිසයි අපි ඒවට මකුලු දැල් මල් කියන්නේ.

පුංචි කාලේ නංගියි මායී ඒවා අල්ලන්න උඩ පනිනවා.එහාට දුවනවා 💃මෙහාට දුවනවා බිම පෙරලෙනවා හති අරිනවා.👭

“ඔන්න හුලගක් එනවෝ…..” කෑගහනවා.

ආය අර ටිකම තමයී.

ගෙයි ඉස්සරහ පඩිය උඩ වාඩිවෙලා මං පාර දිහා බලන් ඉන්නවා.

ඔන්න එතකොටම හෙමින් හෙමින් කලු පාට අහස අඩන්න ගන්නවා.

ඒ එන නැවුම් සුවද පස් ටිකක් කටේ තියගන්න බැරුව ඉන්න තැනටම බලහත්කාරකම් කරනවා.

වැස්ස වැඩිවෙන්න වැඩිවෙන්න මට දැනෙන්නෙ මහම මහා වේදනාබර පාලුවක්.

මුලු ජිවිතය පුරාම සිදුවෙච්ච සිදුවීම් මහ වැසි එක්ක සිදුවුනා වගේ හැගීමක් ඒක.

කුඩේ මිට මූනේ ඔබාගෙන ඉස්කොලෙ ඇරිල එනහැටි,වැස්සට තෙමිල සපත්තු අස්සෙ කිරි කිරි ගාන සද්දෙ,මෂ්තිස්කය රැලි ගැහුනා වගේ පේන පෙගුන ඇගිලි යටිපතුල්,හයියෙන් අකුණු ගහද්දි ඔහුත් මමත් එකෙනාගෙ මූව දෙස බලන ඉස්කෝල බස් රිය,අප්පච්චි එක්ක කුඹුරට ගිය වෙලේක වැස්සෙන් නොතෙමෙන්න හදපු ගෝනි තොප්පි,පුංචි කාලෙ වැස්සට අක්කට තුරුලු වුන හැටි,කඩදාසි බෝට්ටු,, ඉවරයක් නැති මතක ගොඩක් සිහියට එනවා.

ගෙදර කොයි තරම් අය හිටියත් වැස්සේ පාලුව මට තදින්ම දැනෙනවා.😒😔

මට එතුමියව මතක් වෙනවා.දයා ද අල්විස්.ඔව් එතුමියගේ එකමත් එක දවසක ග්‍රන්ථයේ එහෙම ලියල තිබුනා ඒ මමයි මට හිතුනා.

මං අප්පච්චිගෙ කාමරේට දුවන් යනවා.

අප්පච්චිගෙ පාට පාට ලොකු කුඩේ කාමරේ එල්ලල තියනව නම් පඩිය උඩ මං වාඩිවෙන්නෙ අඩාගෙන.

ඒ සද්දෙට අම්ම අහනවා.

“ඇයි අඩන්නේ”

“වහිනවා…. ”

“ඉතිං..”

“අප්පච්චි තෙමෙනවා ඇතිනෙ”

“නෑ නෑ අප්පච්චි ඉන්නෙ කන්තොරුවෙ ඇතුලෙනෙ”

“අප්පච්චි කුඩේ අරන් ගිහින් නෑ එන්නෙ කොහොමද ”

මං අඩනවා.

අම්මා දන්නව මගෙ කෝලම.එයා නෝකාඩ්ඩුවට හිනාවෙලා මං දිහා බලං ඉන්නවා.

මට ලැජ්ජයි.

ඒත් මගේ දුක නවතින්නෙ නෑ.

අප්පච්චි කුඩේ අරන් ගියත් නැතත් මං අඩනවා.

වැස්ස ඒ තරම්ම්ම මගේ ජීවිතේට බලපෑමක් වෙලා වගේ.

“අද මොකද අඩන්නේ අප්පච්චි කුඩේ අරන් ගිහින්නේ!

“ඉතිම් දැන් මොකද මේ අඩන්නේ”

ඒ ප්‍රශ්න වලින් සිද්දවෙන්නෙ මගේ දුර ඈත සියුම් පාලු වැහි ලෝකේන් මාව නහුතයටම නැග්ගල ඇහැරවන එකයි.😈😈

“අනේ අම්මා! මේ වැස්සට කිරිඅත්ත තෙමෙනවා ඇති”

ගෙදර සාමාජිකයෝ හැමෝම වැස්සට මං මූන දෙන විදිහ විහිලුවකට අරන් හිටියත් මට තියෙන්නෙ මෙන්න මේ වගේ හැගීමක් කියල විස්තර කරගන්න බැරි තැනකට මං පත්වෙනවා.

වැස්සෙ තෙමි තෙමී ගෙදර එන අප්පච්චිව මට මැවිල පේනාවා.

අප්ච්චි නොතෙමී ගෙදර ආවොත් ඊලගට මැවිල පේන්නෙ කිරි අත්තව.

ලස්සනට පීරල දාපු කලු සුදු කොන්ඩේ වැස්සෙත් හද හදා එනවා මට පේනවා.

ඒ ලැයිස්තුවට දැන් තව කෙනෙක් එකතුවෙලා.ඒ විදිහටම දැන් මට ඔහුවත් මැවිලා පේනවා.

කිරි අත්ත කියන්නෙ පෙර ආත්ම භවයක දුක්මුසු සිදුවීමක් නිසා මෙහෙම දැනෙනවා වෙන්න ඇතිලු.

මූනට හිරිපොද ගහන්න ඇරල වැස්ස දිහා බලාගෙන වැස්ස වයන වියෝගී අහන් ඉන්න එක වැස්ස වහින වෙලාවට මගේ විනෝදාංශය.

ගෙදර කවුරුත්ම නැති දවසක මහ වැස්සට පැනල තෙමුන දවසුත් නැතුවම නෙවෙයි.වතුර පීල්ලට ඔලුව අල්ලගෙන නාපු දවසුත් එමට.

දැන් දැන් නම් වැස්සක් එද්දිම පුස්තකාලෙට දුවන්නයි ඉවරවෙනකන්ම පුස්තකාලයට වෙලා ඉන්නයි මං උත්සහ කරන්නේ.

පොත් තෝරන අටියෙන් පොත් කන්දක් අරහෙන් මෙහෙන් අරගෙන බිම දාගෙන පුස්තකාලේ පොලවෙම ඉදගෙන එකම එක ලස්සන පොතක් ඇතුලෙ ජීවත්වෙන්නයි මං උත්සහ කරන්නේ.

ඒ බිමම ඉදගෙන පොත් ගොඩ ගහන් කියවනවා දකින එක පුස්තකාලායාධිපති අක්කටත් දැන් ඒ හැටි අලුත් දෙයක් නොවෙන තැනට පත්වෙලා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *