කවියා පිළිබඳ කවි ඇසින් – ගයාන් අබේසිංහ

‘කවියා යනු නිළ නොලත් ලෝක පාලකයා ය.’’ කවියා සම්බන්ධයෙන් බටහිර කවියෙක් අර්ථ නිර්වචනයක් සපයා තිබුණේ එහෙම ය. ‘අපාරේ කාව්‍ය සංසාරේ කවි රේඛං ප‍්‍රජාපතීඃ’’ යනුවෙන් පෙරදිග චින්තකයෙක් කවියා ගැන පැවසුවේ මෙහෙම ය. අපාර වූ සංසාරය තුළ කවියා ප‍්‍රජාපතී රජෙක් ය. මේ නිර්වචන දෙකෙන් ම කියැවෙන්නේ කවියා ගේ තත්ත්වය පිළිබඳව යැයි පැවසීමට පුලූවන් ය. මේ සියල්ල ම හා සසඳමින් වරක් කවියා පිළිබඳ පවසන්නට භාවිත තවත් සුන්දර නිර්වචනයක් ඇත. මට එය සිහිවෙයි. එය ලංකාවේ කවියෙක් විසින් ම කවියා පිළිබඳ දක්වා තිබූ නිර්වචනයකි. එය සිදු කර තිබුනේ ද කවියකින් ම ය.

‘‘කිවිවරයෙකුට දුර වැඩි නැත සුනෙර ගිර
පරසතු මල් නෙළයි ඔහු අත ළඟට කර
මිනිසා ඔහුය සිඹි සුරඟන දෙපිය යුර
එළඹෙයි නිවන් පුරයට හැම දෙනට පෙර

මේ කවිය සැබැවින් ම කවියාගේ තතු හෙළි කරන අව්‍යාජ කවියක් යැයි පැවසිය හැකිය. කිසිවෙකුත් දැක නැත නමුත් අනන්තවත් අසා ඇති සුනෙරගිර දුටු අයෙක් වෙයි නම්, එය තරණය කළ අයෙක් වෙයි නම් හේ කවියා ම ය. සුනෙරගිර මැවුනේ ද කවිසමයෙන් ය. පරසතු මල් පිපෙන්නේ දිව්‍ය ලෝකයේ ය. එය මිනිසුන් ට කිසිදු දිනෙක දැක ගත හැකි නොවෙයි. එ’මල දැක ඇති මිනිසෙක් වේද එමල සිඹ ඇති මිනිසෙක් වේ ද ඒ කවියා ම ය. ස්වප්නයකින් වුව ද ඔහු ට දිව්‍යාංගනාවන් සිදංගනාවන් හා සංවාස කළ හැක. රති සුවයේ අනන්ත වින්දනය විඳගත හැකිය. එය ලෞකික සුවයේ අසීමාන්තික සැපයකි. එවන් වූ ලෞකික සුවයක් විඳි කිසිදු මිනිසෙක් ට නිවන දුර මිසෙක ළඟක නම් නොවෙයි. නමුත් කවියා මේ ලෞකික සුවය විඳි වුව ද ලොව හැමට පෙර නිවන් රස විඳින්නේ ද කවියා ම ය.

කවියාගේ ජීවිතය පිළිබඳ උක්තයෙහි ඇති කවෙහි ඇත්තේ සැබෑවකි. මන්ද කාල්පනික ලෝකයක් තුළ කවියා පෙර කී සියලූ දෑ ස්පර්ශ කරමින් ජීවිතය වින්දනය කරන්නෙක් බැවිනි. එහෙත් කවියෙක් කාල්පනික ව ඒ දෑ රසවිඳි පමණින් නූතනය තුළ ඔහුට ජීවත් විය හැකි ද? වර්තමාන සමාජය නිර්මාණයව ඇත්තේ ප‍්‍රාග්ධන සමුචිචය කේන්ද්‍රගත කරගනිමින් ය. බොහෝ විට ප‍්‍රාග්ධනය බලය වෙයි යන තේමාව සමාජයේ ව්‍යාප්තය. එහෙත් කවියා යනු හුදෙක් අධ්‍යාත්මික වින්දනයක නිරතවන්නෙකි. බොහෝ විට ඔහුගේ භෞතික සම්පත් දුක්ඛිතය. සියල්ලටමත් වඩා කවියෙකු සතුව ප‍්‍රාග්ධන සම්පත් ඇත්තේ බොහෝ විට අවප‍්‍රාමාණිකව ය. එවන් අවස්තාවක මානව සමාජයේ ජීවත් වීමේ දී කවියාට කවිකම පමණක් ප‍්‍රමාණවේ ද යන්න විශාල ගැටලූවකි. මෙකී ප‍්‍රශ්නය සමාජය තුළ ඔඩු දුවන කාලයක මට සමිත බී. අටුවබැන්දෑලයන් ගේ ‘කඳු මුදුන’ කාව්‍ය කෘතියෙහි සඳහන් කවියක් මුණ ගැසෙයි. නූතන කවියන්ගේ ආත්මය පාරිශුද්ධ ද? ඔවුන් ධනෝපායනය තුළ අවංක ද? කවිකමෙන් පමණක් දිවිගෙවිය හැකි ද? ප‍්‍රාග්ධන සමාජයක කවිත්වය නැමැති ආත්මිය දෙය පැවැතිය හැකි ද? යන කිසිදු ප‍්‍රශ්නයකට මම කිසිදු පිළිතුරක් නොදීම සමිත බී. අටුවබැන්දෑලයන් සිය කාව්‍ය කෘතියේ ලියා තිබුණු ‘ඔබ සහ මම’ යන දීර්ඝ කවියේ කොටසක් මෙතැනට ගලපමි.

‘ඔ
යා
දැන්
ගෙද

යන්

මට ආයේ
ගෙදර එන්ට බැරිවෙයි
ඔබේ අත අල්ලා ගැනුමට

හෙල්ලෙන්ට බැරිය
සේලයින් බට වලින්
බැඳ තිබේ සිහින
කතා කරන්නට බැරිය
ඔක්සිජන් බටයෙන්
සඟවා තිබෙයි
බලාපොරොත්තු

පුතාට කියන්ට
හොඳින් ඉගෙන ගන්ට
දුවට කියන්ට
හොඳ ගැහැනියක වෙන්ට

අල්මාරියේ
යට ම තට්ටුවේ
කවි යැයි හිතාන
ලියූ කොළ කෑලි
ඉල්ලන කෙනෙකුට දෙන්ට
යතුර
පරණ කලිසන් සාක්කුවේ
සාගර පතුලේ

බඩගින්නේ
දරුවන් ඇඬුවොත්
දාහක් ඇති
බැංකු පොතේ’’

සමිතයන් ගේ කවිය මෙතැකින් අවසන් නොවෙයි. එය මදක් දීර්ඝ කවියක් ය.එහි මුල් කොටස එපරිද්දෙන් පවසන්නේ කවියෙක් ය. ඔහුගේ බිරිදටය. කවියේ අනෙක් අර්ධය පවසන්නේ කවියාගේ බිරිදය. එය මෙපරිදිය.

පුතා දැන්
හොදට ඉගෙන ගෙන
ඔයා විතර ඇති
සිරීපාද කන්ද වගෙයි

දුව දැන්
ලොකු ළමයෙක්
මටත් වඩා උසයි
ඔයා හදපු පිච්ච මල් වැල ම තමයි

සංසාරේ කවදාහරි
හමුවුණාම
ඔයා අහයි
කොහොමද මුන් මෙච්චරම ලොකු කළේ තනිව ම
මංවත් දන්නෑ
උත්තරේ

දීර්ඝ කවියක් බැවින් එය මෙතැන සම්පූර්ණයෙන් ම දැක්විය නොහැකි බැවින් මම ඔබට යෝජනාවක් කරමි. ඒ එම කවිය සොයාගෙන කියවන ලෙසින් ය. ඒ කවරක් වුව ද එම කවියේ ඇති තවත් කොටසක් මම මෙසේ ගලපමින් සටහන අවසන් කරමි.

‘යතුර දුන්නා
කවි කවුරුත් ගත්තේ නෑ
මම ම තියා ගත්තා
ඔයා දුන්න
පුංචි මුද්ද තියෙන ලාච්චුවේ
නිදන් කරලා

කොළ කෑලිවල
ඔයාගේ අකුරු ළඟ
මට දැනෙනවා ජීවිතය
මැරෙන්නැති සුවඳ’’

@ ගයාන් අබේසිංහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *