පන්සල් ගිහින් මට ඕනේ නම් බුදුන් වදින්නත් පුළුවන් කෙල්ලෝ දිහා බලන්නත් පුළුවන් – ඉලක්ෂ ජයවර්ධන

තාරුණ්‍ය ..නිල ඇඳුම ..සහ කවිය එකතුවුණු තැනක කතා කරන්නට බොහෝ දේ තියෙනවා .පටන් ගමු ඔබ ගැන පොඩි හැඳින්වීමකින්

ඔව් ඒ ප්‍රවේශය හරි ලස්සනයි.තාරුණ්‍යය , නිල ඇඳුම හා කවිය කියන්නෙ ශක්තිමත් ලිප් ගල් තුනක්.මම ඒ ලිප් ගල් තුන උඩ උදෑසන ඉදෙන සුවඳැල් හාලෙ බතක් වෙන්න උත්සහ කරන කෙනෙක්.එතනින් එහාට මම ගාල්ල ඕපාත කියන සුන්දර ගමේ අම්මා තාත්තා සහෝදරියො දෙන්නා හා සහෝදරයකුට මැදිව ගෙදර බඩපිස්සා විදියට කුඩා කාලෙ ඉඳන් සරල හා සුන්දර ජීවිතයක් ගතකරපු කෙනෙක්.මගේ අම්මා හා තාත්තා සාමාන්‍ය වැවිලිකාර ගැමියො.අපිට තේ ඉඩමක් කුඹුරක් එහෙම තියෙනවා.ඒ ඉඩම් වල පසට අපේ ගෙදර හැමෝගෙම දාඩිය කලවම් වෙලා තියෙන්නෙ.විශේෂයෙන් අම්මගෙ හා තාත්තගෙ.ඉතින් ඒ පස හරි සරු සාර වුනා.මගේ ලොකු අක්කා පොලිස් නිළධාරිනියක්.අයියා ගුරුවරයෙක්.පොඩි අක්කා උපාධිදාරී සංවර්ධන නිළධාරිනියක්.පවුලේ බඩපිස්ස වුන මම උප පොලිස් පරීක්ෂක වරයෙක්.අපි හතර දෙනා මේ තැන් වලට ගෙනාවෙ අපේ අම්මගෙයි තාත්තගෙයි දාඩිය හා කඳුළු.ඒක ඕනම තැනක කියන්න මට ලැජ්ජාවක් නෑ. හිතට බලහත්කාරයෙන් වගෙම අහම්බෙන් එන හැඟීම් හිතේ හිර කරන් ඉන්න අමාරු කෙනෙක් තමයි මම.ඒ වගේ වෙලාවට ඒක කවියකින් පිටකරන ටිකක් හිතුවක්කාර කොල්ලෙක් විදියට තමයි මට මං ගැන හඳුන්වා දෙන්න පුලුවන්.පුංචි දේත් ලොකුවට හිතල දුක් වෙන එක තමයි මගේ මම දකින ලොකුම අඩුපාඩුව.

 කවියෙක් කියලා ඔබට ඔබව හැඟුණෙ කොයි කාල වකවානුවේදිද ?

කවි ලියන්න පටන් ගත්ත කාලය මතක් වෙද්දිත් හිතට පුදුමාකාර සැහැල්ලුවක් සතුටක් ගෙනත් දෙනවා.ඒ තමයි පෙම් හසුන්වල මරණාසන්න කාලය.පෙම් හසුන් වල මරණයට ලස්සනක් එකතු කරන්න ඒ කාලෙ මට අහම්බෙන් අවස්තාව ලැබුනා.ඒක මට සතුටක්.මිතුරන්ගෙ පෙම් හසුනක් අලංකාර කිරීමට හා පෙම්වතියන්ගේ සුන්දරත්වය අතිශෝක්තියෙන් වැනීමට හපනෙක් විදියට මම මිතුරන් අතර ප්‍රසිද්ද වුනා..සමහර හොටු කෙල්ලන් පවා දිය කිඳුරියන්ට උපමා කර කවි ලියූ ඒ අතීතයට අදටත් මම පුදුම තරම් ආදරෙයි.මට හොටු කෙල්ලක් වගේ පෙනුනට ඇයට පෙම් කල මගේ මිතුරාට ඇය දිය කිඳුරියකටත් වඩා ලස්සනට පේන බව මම දැන්ගත්තෙ මගේ හිතෙත් පෙම් හැඟුම් එක දෙක පීදෙන්න ගනිද්දි තමයි.ඉතින් මම ඒ කෙල්ලන්ව දිය කිඳුරියන්ට සමාන කර මිතුරන්ට ලියා දීපු කවි ගැන මට පසුතැවීමක් නැතුව සතුටක් ඇතිවෙන්න එය හොඳ හේතුවක් වුනා.එහෙම ලියන්න පටන් ගත්ත මට හොඳම උත්තේජනය ලැබුනෙ ගෙදරින්මයි.ඒ මගේ සහෝදරයගෙන්.ඔහු ලියූ කවි පුවත්පත් වල ඒ දිනවල පලවුනා.අයිය ඒ කවි එකතු කරල ලැමිනේටින් කරල ලස්සනට අරන් තියල තිබුනා.
ඉතින් ගෙදරට ඇවිත් යන ටිකක් හෝ උගත් මිනිස්සු ඒව කියවල අයියගෙ ගුණ ගයන එක ඒ දවස්වල අපේ ගෙදර සිද්ද වුනා.ඒ වගෙම මගෙ අයිය සාහිත්‍ය තරඟ වලින් පලාත් මට්ටමේ ජයග්‍රහන ලබාගත්තා. අයිය කතා කරන වෙලාවට රත්න ශ්‍රී නාමය ඔහුගෙ මුවින් පිටවෙන්න ගත්තා.මමත් ඒ නාමය කව්ද ඔහු කුමක්ද කලේ කියල හො‍යන්න පටන් ගත්තා.ඒ හැදුන කවි හා සාහිත්‍ය පිපාසය තවමත් සංසිඳී නොමැති වීම මගේ වාසනාවක්.ඒ වගෙම ඇලේ දොලේ කැලේ පැනල සෙල්ලම් කරල රෑ වෙලා ගෙදර එද්දි ගේ වටේ එලවගෙන ඇවිත් මට කෝටු පාරවල් දීපු අක්කල දෙන්න මට ලෝකයක් තරම් ආදරය දුන්නා.අම්මයි තාත්තයි ඊට දෙවනි උනේම නෑ.ඒ පවුලෙන් ලැබුන ආදරය නිසා අකුරු නොදන්න කෙනෙක්ට උනත් කවි ලියවේවි.ගොළුවෙක්ට උනත් කවි කියවේවි.අපේ පවුලේ බැඳීම් ඒ තරම් ප්‍රබලයි.ඒ වගෙම වසර කීපයක් මම ගෙවපු බෝඩිම් ජීවිතේදි මට ලොකු – පොඩි , කළු – සුදු බොහොමයක් චරිත ඇසුරු කරන්න ලැබුනා.ඔවුන් නිසා මට බොහෝ අත්දැකීම් ලැබුනා.ඒව කවි වලට හොඳ නිමිති බවට පසු කාලෙක පත් වුනා.ඒ අතර ගමේ සමහර අය මට කතන්දර හැදුවා.ඒත් මම ඒ හැමෝටම ආදරය කලා.මට ඒ ආදරය ගෙදරින් පුරුදු කරල තිබුනා.මේ අතර හීනියට හිත හූරපු ප්‍රේමයක් මැරිලත් හුස්ම ගනිමින් සිටියා.එහෙම කවියට පිවිසුන මමත් ආසාවෙන් එකඟ වුන මතයක් තමයි හැම මිනිසෙක්ම කවියෙක් හෝ කවියක් වෙන්න ඕන කියන එක.යමෙක් කවියෙක් උනොත් ඔහු කවි ලියාවි.එහෙම නැත්නම් යමෙක් කවියක් වගේ සුන්දරව ජීවත් උනොත් ඔහු ගැන කවි ලියවේවි.මෙන්න මේ සිතුවිලි හා සිද්දි නිසා මම නිරායාසයෙන්ම කවියෙක් බවට පත්වුනා.ඉතින් පාසල් කාලෙදිම මට මේ සිතුවිලි ඇතිවුන හා සිදුවීම් ඕනෑ තරම් තිබුන නිසා එදා සිට කවි ලියනවා.ඒත් කවියෙක් කියන ලේබලය අලවගන්න මම තාමත් බයයි.මොකද කවියෙක් විදියට කවියෙ හා සමාජයේ මම අතගාපු වපසරිය ඉතා කුඩායි.නමුත් වයස 24ක කොල්ලෙක් විදියට මට මම ගැන සතුටුයි.

මොනාහරි අකුරු ටිකක් ගැටගහපු පලියට කෙනෙකුට කවියෙක් වෙන්න බෑ කියන වටපිටාවක ඇයි ඔබ හැම මිනිසෙක්ම කවියෙක් වෙන්න ඕනෙ කියලා හිතන්නෙ ?

මගේ මතය නම් ඕනෑම මිනිසෙක් කවියෙක් හෝ කවියක් යන කුලකයන් දෙකෙන් එකකට අයත් විය යුතුයි කියායි.කවියෙක් වීමට නම් යමකු කවි ලිවිය යුතුයි.කවියක් වීමට නම් සුන්දරව ජීවත් විය යුතුයි.අපිට ඒ ඕනෑම එක් කුලක‍යකට හෝ කුලකයන් දෙකටම වුනත් අයත් වෙන්න පුලුවන්.දැන් එතකොට ඔය “අකුරු ගැටගහපු පලියට කවියෙක් වෙන්න බෑ” කියන අදහස බලපාන්නෙ මම කියපු කුලක දෙකෙන් එකකට විතරක් අයිති වුන අයට තමයි.කවියෙක් වුනත් කවියක් වගේ ජීවත් නොවෙන අයට හා කවියක් වගේ ජීවත් උනත් කවියෙක් වෙන්න බැරි වුන අයට ඒ කතාව අදාලයි.කවියෙකුත් වෙලා කවියක් වගේ ජීවත් වෙන කවියා හා කවිය කියන කුලක දෙකටම අයත් පිරිස මේ හැම දෙයක් දිහාම උපේක්ෂාවෙන් බලන් ඉඳියි.මේ කියන කුලක දෙකෙන් අපි මොනවටද අයිති කියල අපිම කල්පනා කරන්න ඕන.

“මම උප පොලිස් පරීක්ෂකවරයෙක් කියන ඔබ “මම කවියෙක්” කියන්න බයයි ?

ඒ බය ඇතිවෙන්නෙ මගේ කවියට හා සාහිත්‍යයට තියෙන ආදරත් එක්කමයි.මම අපේ තාත්ත වගේ කියන්න මම බයයි.ඒ මට මගේ තාත්ත වීරයෙක් නිසා.මගේ තාත්ත ගාව තියෙන හොඳ ගති ගුණ මගෙ ගාව තියෙනවද කියල මට සැක නිසා.ඒත් කෙනෙක් කියනකොට පුතානම් තාත්ත වගේමයි කියල මම හිත ඇතුලෙන් ගොඩක් සතුටු වෙනවා. ඒ හැඟීම හරිම සුන්දරයි. කවිය වගේම කවියා ගැනත් මට තියෙන්නෙ ඒ වගේ ගෞරවයක්. ඉතින් මම කවියෙක් කියන්න බයයි.

 විශේෂයෙන් සහ කැමැත්තෙන් කියවන පොත් පත් හෝ ගුරු කොට ගන්නා ප්‍රවීණයෝ ඉන්නවද?

=විශේෂයෙන් කියවන පොත් පත් කියල දෙයක් නම් නෑ. කියවපු ඒවගෙන් විශේෂ වුන පොත් පත් නම් තියෙනවා. අවසානයට කියවපු “අහම්බකාරක” නවකතා පොත ඇතුලෙ මම තාමත් ජීවත් වෙනවා. කවි පොත් නම් කියවපු හැම එකක්ම මට විශේෂ වුනා.ඒව පරිස්සමට මම ලඟ තියන් ඉන්නවා.
ඒ තරම් ම මම කවියන්ට සහ කවි වලට ආදරෙයි. මම මෙතුමාගෙ ආරට යනවා කියල කෙනෙක් ගුරු කොට ඔලුවෙ තියාගන නැති උනාට මම බොහෝ ආසාවෙන් සුන්දර කවීන්ගේ සුන්දර කවි කියවන නිසා මට නොදැනීම ඔවුන්ගේ සෙවනැලි මගේ කවි තුල වැටී තියෙන්න පුලුවන්. ඒත් ආයාසයක් අරන් යමේකු තැනූ අඩි පාරක යන්න උත්සාහ කලේ නෑ මම.නමුත් රත්න ශ්‍රී සර් මගෙ කවියකට දීපු කමෙන්ටුව සේම මහින්ද ප්‍රසාද් මස්ඉඹුල හා අසංක රුවන් සාගර යන සම්මානනීය කලාකරුවන් දෙදෙනා මා හට දුරකථනයෙන් අමතා ලබා දුන් පැසසුම් හා ඔවදන් ඇතුළුව මුහුනු පොතෙන් මා දැන හඳුනා ගත් කවියන් හා විද්වතුන් වගෙම කවි රසවිඳින්නන් මාගේ කවි වෙත දැක්වූ අදහස් තමයි මගේ ගුරුවරුන් වුනේ.මුහුනු පොතේ බැදීම් සජීවී නෑ කියල කාටවත් කියන්න බෑ.ඒකට හොඳම උදාහරණය මම. නගරයෙන් දුර බැහැර ඉඳපු මට පොත පතේ සිට ගුරුවරයා දක්වා බොහෝ දේ ලබා දෙන්න මුහුනු පොතට හැකි වුනා.

බැලූ බැල්මට ඔබේ වෘතිය එක්ක කවිය පරස්පරයි වගේ හැඟීමක් කෙනෙකුට දැනෙන්න පුළුවන් …මේ දෙක යම් තැනකදී එකිනෙකට හැප්පෙනවද? ..එහෙම නැතිනම් කවිය කියන්නෙ ප්‍රායෝගික ජීවිතයේ පරිකල්පනයක් විතරමද?

සාහිත්‍ය නිර්මාණයක් කියන්නෙ සත්‍ය හා පරිකල්පනය අතර දෙයක් කියල එදිරිවීර සරත්චන්ද්‍ර මහතා කියල තියෙනවා.ඉතින් මමත් ඒ අදහසට එකඟයි.ටිකක් ඉතිහාසය දිහා බලද්දි පේන දෙයක් තමයි බොහෝ කවියන් තමන්ගෙ පරම ආයුෂ ගෙවා දමන අවස්තා අඩු බව.ඒ ඇයි…කවියෙක් කියන්නෙ අනුන්ගෙ ප්‍රශ්න හා දුක සතුට තමන්ගේ කරගෙන ඒ ගැන ලියන කෙනෙක්.ඉතින් තමන්ට ජීවිතේ ඇති ප්‍රශ්න දුක සතුට ආදියත් ඒ අතරට එකතු වුනාම කොහොම බර ඇද්ද කවියන්ගෙ හිත් වලට..පොලිස් නිළධාරියෙක් කියන්නෙත් එහෙමමයි මිනීමැරුමක්, සොරකමක්,ස්ත්‍රී දූෂණයේ සිට ජාතික හැඳුනුම්පත නැතිවීම, රැකියාවට යාමට පොලිස් වාර්තාව ලබා දීම දක්වා මිනිසුන්ට නොපෙනෙන සේවයක් පොලිසිය කරනවා.අනුන්ගේ ප්‍රශ්න තමන්ගේ කරන් ඒවා විසඳන්න උත්සාහ කරනවා.ඒ අතරට තමන්ගේ ප්‍රශ්නත් එකතු වුනාම පොලිස් නිළධාරියෙකුගෙ හිතට කොච්චර බර ඇත්ද..මා දන්නා තරමින් බොහෝ පොලිස් නිළධාරීන්ගේ ආයුෂ කෙටි වීමට ඒ පීඩනය බලපානවා.ඉතින් ඔහු එතනදි කවියෙක්ට සමාන නැද්ද.මම එහෙම ඇහුවොත් කෙනෙක් කියන්න පුලුවන් ඒකට තමයි පොලිස් නිළධාරීන්ට රජයෙන් වැටුපක් ගෙවන්නේ කියලා..එහෙම කිව්වොත් මම කියනවා කවියෙක්ටත් වැටුපක් ලැබෙනවා කියල.ඒ තමයි හිතේ සතුට.යමෙකුගේ දුකක් සතුටක් හෝ ප්‍රශ්නයක් තාමාගේ කරගෙන ඒ තැනැත්තාට පිහිටක් වී හෝ නොවී කවියා කවක් ලිවීවෙන් කරන්නෙ සේවයක්.ඒ සේවයට ඔහුට හිතේ සතුට කියන වැටුප ලැබෙනවා.එතනදිත් කවියා හා මගේ වෘතිය සමානයි.ඉතින් මම හිතන්නෙ මම තෝරගත් වෘතිය හරියටම හරි කියල.

 එසේනම් මම යෝජනාවක් ගෙනාවොත් ඔබ කියූ වැටුප් කාණ්ඩ දෙක මාරු කරන්න කියලා ….

ඇත්තටම ඒ තමයි හරිම යෝජනාව.වැටුපු දෙක මාරු කරගැනීම හෝ වැටුප් දෙකම ලැබෙන තැනට අපි විසින්ම වැඩ කටයුතු කරනවනම් කිසිම අවුලක් නෑ.ඒත් එහෙම වෙනවද කියන එක ලොකු ප්‍රශ්නයක්

සමස්ථයක් වශයෙන් නිර්මාණ සඳහා වැඩිපුරම යොදාගන්නට කැමති මොන විදියේ අනුභූතීන්ද?
=ප්‍රේමය තමයි හැමදාම
මිනිස්සුන්ව හොඳම විදියට හැදුවේ
එහෙම නැත්නම්
නරකම විදියට මැරුවේ..ඉතින් ඒ
ප්‍රේමය හා විරහව තමයි මගේ කවි වලටත් වැඩි පුර පාදක වුනේ.ඒක ඉතින් වයසෙ වැරැද්දද මන්දා..ඔක්සිජන් ජලය ආහාර වගේ ජීවිතයට අත්‍යවශ්‍ය දෙයක් බවට පත් කරන් මිනිස්සු හරි ආසාවෙන් ආදරය පස්සෙ දුවන්න හේතුවක් ඇති.මටත් ඒක ඒ විදියටම බලපානව ඇති.

මුහුණු පොත බොහොමයක් ජීවිත කඩාකප්පල් වීම් සහ ජීවිත අහිමිවීම්වලට පවා බලපාන බව අද වෙනකොට නොරහසක්.ඒත් ඔබ හෙට දක්ෂ කවියෙක් විදියට පොළවට පය තියන්නෙ මේ කියන මුහුණු පොතෙන් ලද්දාවූ උත්තේජනයන් හා එකතු කර ගත්තා වූ දෙයින් .කොහොමද මේක පැහැදිලි කරන්නෙ ?

මට පංසල් ගිහින් බුදුන් වඳින්න පුලුවන් ඕනනම් කෙල්ලො දිහා බලන් ඉන්න පුලුවන් එහෙම නැත්නම් පිං කැටේ කඩන්න උනත් පුලුවන්.මමයි තීරණය කරන්න ඕන මම මොකටද පංසල් යන්නෙ කියල.ඒ වගේ තමයි මුහුනු පොතත්.මම කවි ලියන්න එනවා,තව කෙනෙක් පෙම්වතෙක් හෝ පෙම්වතියක් හොයන්න එනවා,තව කෙනෙක් කාලය ගෙවා දමන්න එනවා, ඒ අතර බොහොමයක් පිරිස සාමාන්‍ය ජීවිතේ තියෙන ඇරියස් කවර් කරගන්න මුහුනු පොතට එනවා.තව දහසකුත් දේවල් වලට මිනිස්සු මුහුනු පොතට එනවා.මේ හැමෝම එක්ක අපි මුහුවෙන්න ඕන.ඉතින් විශේෂයෙන් කාන්තාවක් නම් අර අක්ක කලින් කියපු ඉව හොඳටම පාවිච්චි කරන්න ඕන මුහුනු පොතේදි.කෙනෙක් එන්නෙ මොකාටද කියල වචන දෙක තුනකින් දැනගන්න පුලුවන් කාන්තාවකට.පිරිමියෙක්ට කියල වෙනසකුත් නෑ.අද තාක්ෂණයේ දියුණුවත් එක්ක බොහෝ දුර සයිබර් අවකාෂය ගිහින් තියෙනව.ඒකට අනුලෝමව සයිබර් අපරාධ ප්‍රමාණයත් වැඩි වෙලා තියෙනව.පොලිස් නිළධාරියෙක් විදියට අපට ඒ ගැන අවබෝධයක් තියෙනව.මට එක යෝජනාවයි තියෙන්නෙ.පාසල් විෂය නිර්දේශයට කාණ්ඩ විෂයක් විදියට නොවෙයි මෙම තොරතුරු තාක්ෂණය අනිවාර්ය විෂයක් බවට පත් කල යුතුයි.අන්තර්ජාල භාවිතය පාසල් කාලයේ සිටම නිවැරදිව අතට ලබා දිය යුතුයි.ඉතිහාසය අනිවාර්යය විෂයක් නම් අනාගතයත් අනිවාර්යය විෂයක් විය යුතුයි.එසේම මුදල් වියදම් කර අන්තර් ජාලයට එන අපි ඒ මුදලේ වටිනාකමට දෙයක් ජීවිතයට ගන්නෙ නැත්නම් එතනම අපි ෆේල්.ඒව ඉතින් සාමාන්‍ය දැනීම.

ඉවක් දැනෙනවා ලියපු කවි එක්ක මොකක්දෝ සුන්දර වැඩකට සූදානම් වෙනවා කියලා

මම දන්නවා කාන්තාවන්‍ට කොහොමත් පිරිමින්ට නැති අමුතු ඉවක් තියෙනවා කියල.අපේ අක්කලත් එහෙමයි. මම හැරෙද්දි මොකාටද එන්නෙ කියල දන්නවා.ඔව් සුන්දර හීනයක් හැබෑ කරගන්න ආසාවෙන් මම ඉන්නවා.ගස් ඉන්දල තියෙනවා. පොතක් ලියල පුතෙක් හදල රජෙක් වගේ මැරෙන්න ඕන නිසා ඒ හීනෙ හැබෑ වෙනකන් හරි ආසාවෙන් බලන් ඉන්නවා.පුතෙක් හදන්න තරම් වයසක් නැති නිසා මොකද්ද ඒ සුන්දර වැඩේ කියල හිතාගන්න පුලුවන් ඇති.

සටහන – දිනූ රාජගුරු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *