ශ්‍රිලනිපය – ඒකාබද්ධ දීගයක

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(22) රාත්‍රියේ කොළඹ මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවසේදී පවත්වා තිබේ.

ඊයේ රාත්‍රි 7.30 ට ආරම්භ කළ එම රැස්වීම රාත්‍රී 10.00 දක්වා පැවැති අතර එහිදී ඉදිරි පළාත් පාලන මැතිවරණය පිළිබදව දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.

ඉන් අනතුරුව විශේෂ තීන්දු තීරණ කිහිපයක්ද ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව විසින් ගෙන තිබේ.

ඒ අනුව යහපාලන ආණ්ඩුව සමග කටයුතු කිරීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිවලට අනුව දේශීය ආර්ථිකය නගා සිටුවීමට කටයුතු කළ යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත.

එහිදී පසුගිය දින කිහිපය තුළ පාර්ලිමේන්තුවේදී සහ ඉන් පිටතදී ඡන්දය කල් දැමීම පිළිබඳව ඇතැම් පාර්ශව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙත එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇත.

පළාත්පාලන ආයතනවල සභිකයන් සංඛ්‍යාව වැඩිවීම සහ තරුණ නියෝජනය වැඩිකිරීම සම්බන්ධයෙන්ද මධ්‍යම කාරක සභාවේදී අවධානය යොමුව තිබේ.

ඊට අමතරව මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා වූ බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය.

ශ්‍රීලනිපයට එක්වීමට බැසිල් බෑ කියයි

මේ අතර ඉදිරි පළාත් පාලන මැතිවණයේදී ඒකාබද්ධ විපක්ෂය සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව තරග කිරීමට මධ්‍යම කාරක සභාවේදී එකගතාව පළ වී තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩවීම වැලැක්වීම සඳහා ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසී ය.

කෙසේවෙතත් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේ වර්තමානයේදී ඒකාබද්ධ විපක්ෂයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්වීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *