දකුණට වඩා උතුරේ මිනිස්සු කොච්චර හොඳද? – තරිදු ඉරංග

මේ දින වල රටේ වැඩිපුරම කතා බහට ලක්වන මහ බැංකු බැඳුම්කර සිදුවීමට පසුව ඇත්තේ යාපනයේ කතාවයි.
‘මල්ලි මාර ප්‍රශ්නේ නේද? යාපනේ ගොඩක් කළබලලු නේද? බස් වලටයි පොලිසියටයි හොය හොයා ගහනවලු.‘ මෙලෙස කීවේ ගම්පහ ත්‍රීරෝද රථ රියදුරෙකි. යාපනයේ සරසවි සිසුන් දෙදෙනාගේ මරණය ගැන වාර්තා කිරීමට මා යාපනයට ගොස් නැවත නිවසට එද්දී එම රියදුරා එසේ කීවේය.
‘මොන පිස්සුද? මමත් එන්නේ යාපනේ ඉඳන්. මාත් දවස් දෙකක් හිටියා. කිසිම කළබළයක් නෑ.‘ යැයි මම කී විට ත්‍රීරෝද රථ රියදුරු අසුනේ සිට යළි හැරී මාගේ මූන දෙස බැලීය. ඔහුට මෙන්ම තවත් බොහෝ දෙනකුට උතුර ගැන ඇත්තේ වැරදි චිත්‍රයකි. එම චිත්‍රය ඇඳ ඇත්තේ අන් කවරකුවත් නොව ජනමාධ්‍යවේදීන් හා දකුණේ දේශපාලකයන් ය.
යාපනය සිසු ඝාතනයට එරෙහිව උතුරේ හර්තාල් කළ බව සැබෑය. යාපනයේ විශ්ව විද්‍යාල සිසුන් උද්ඝෝෂණයක් කළ බව හැබෑය. එනමුත් ඉන් කිසිවකුට හානියක් සිදුවූයේ නැත. සිසුන් දෙදෙනා මරා දැමුවේ පොලිසියෙන් බව රහසක් නොවේ. ඊට එරෙහිව යාපනයේ විශ්ව විද්‍යාල සිසුන් විරෝධතා දැක්වූයේ නිශ්ෂබ්දව හා සාමකාමීවය. සිසුන්ගේ අවසන් කටයුතු දා ඔවුන්ගේ මිනී පෙට්ටි උස්සාගෙන පාර මැද්දේ තබා ගෙන ටයර් පුළුස්සා විරෝධතා දැක්වූයේ නැත.
ඒ උතුරේය. දැන් දකුණේ උදාරණ කිහිපයක් බලමු.
මොරටුව අඟුලානේ දී පොලිසිය තරුණයන් දෙදෙනකු වෙඩි තබා මරා දැමූවේ මීට වසර කිහිපයකට පෙරය. පොලිසියේ ක්‍රීයාවට ජනතාව ප්‍රතිචාර දැක්වූයේ අඟුලාන පොලිසියට පහර දී කඩා බිඳ දමමිනි.
දොම්මේ පොලිසියේ පහර දීමෙන් තරුණයකු මිය යෑමට විරෝධය පළ කළ ප්‍රදේශවාසීහු දොම්පේ පොලිසිය ගිනි බත් කළහ.
2014 දී පස්යාලේදී තරුණයකු පොලිස් වෙඩි තැබීමකින් මිය ගිය අතර ඊට විරෝධය පළ කරමින් අවසන් කටයුතු දා මිනී පෙට්ටිය මහ පාරේ තබාගෙන උද්ඝෝෂණ කළහ. දකුණේ මෙවැනි උදාහරණ ඕනෑ තරම් තිබේ.

දකුණේ මිනිසුන්ට මෙන්ම උතුරේ මිනිසුන්ට ද දුක, වේදනාව, ආවේග පොදුය. නමුත් උතුරේ ජනතාව මත ඇති මිලිටරි හස්ථයේ පීඩනය නිසා එම වේදනාව මෙවැනි අවස්ථාවල දකුණේ තරම් පිටකරන්නට ඔවුන්ට හැකියාවක් නැත.
දකුණ දෙස බලද්දී යාපනයේ සිසුන් දෙදෙනා පොලිසියෙන් මරා දැමීමට එරෙහිව උතුරේ ජනතාව ලොකු විරෝධයක් පෙන්වා නැත. ඒ අතින් දකුණට වඩා උතුර කොපමණ හොඳදැයි කෙනකුට ඇසිය හැකිය.
ඇතැමුන් උතුරේ කළබළ ඇති බවට බොරු ප්‍රචාර යවන්නේ මෙවැනි සාමකාමී වටපිටාවකය.
එක් සිසුවකු මිය ගියේ පොලිස් වෙඩි පහරින් බව සක්සුදක් සේ පැහැදිලිය. වාහනයක් නොනවත්වා ගිය පලියට වෙඩි තැබීමේ හැකියාවක් නැත. අධිධාරිතා යතුරු පැදිවලින් ගිය පළියට වෙඩි තබන්නට බැරිය. චම්පික රණවක ඇමැතිවරයාගේ යතුරු පැදියේ හැපුණු තරුණයන් ගියේ ද අධිබල යතුරු පැදියකිනි. ඒ බව බොහෝ දෙනෙකුට අමකය. එම සිසුන් දෙදෙනා ගැන අනුකම්පාව දණවන පුවත් පළ කළ මාධ්‍ය සහ ඔවුන් වෙනුවෙන් කතා කළ දකුණේ ඇතැම් දේශපාලකයන් උතුරේ සිදුවීම දෙස බලන්නේ වෙනස් ආකාරයකටය. උතුරේ සිසුන් දෙදෙනා අධිධාරිකා යතුරු පැදිවල ගිය නිසා වෙඩි තැබුවායැයි එය සාධාරණී කරණය කිරීමට පිරිසක් උත්සාහ දරති. දකුණේ ඕනෑ තරම් මෙවැනි යතුරු පැදි තිබේ. එසේ නම් දකුණේ එවැනි යතුරු පැදි කරුවන්ටත් වෙඩි තැබිය යුතුද ඒවා ගැන ජනමාධ්‍ය ලියනවාද?
උතුරේ සිසුන් දෙදෙනා අධිබල යතුරු පැදිවලින් ගිය කතාව ද අමූලික බොරුවකි. ඔවුන් ගියේ සාමාන්‍ය යතුරු පැදියකිනි. ඔවුන් ගිය යතුරු පැදියේ ඡායාරූපයක් ද මේ සමග ඇත. උතුරු නැති සිදුවීම් මවා පෙන්වීමට ඇතැමුන් උත්සාහ දරණ බවට හොඳම උදාරණය මෙම යතුරු පැදි සිද්ධියයි. ඔවුන් තව තවත් බොරු මවන්නේ මේ ආකාරයටමය.
බොරු මවා පෙන්වා ජනතාව ගොනාට අන්දන්න හදන උදවියටගේ එම බොරු වලට තව දුරටත් හසු නොවන ලෙස ඉල්ලමු. නැති ප්‍රශ්න මවා පෙන්වීමට උතුර තෝරා නොගන්නා ලෙස අදාළ පුද්ගලයන්ට දන්වමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *