නාවික හමුදාපතිගේ ආයුෂ කාලය තීරණය වුණේ යුද අවි නැවකින් ද?

නාවික හමුදාපති රියර් අද්මිරාල් ටී. සින්නයියා අද සිය තනතුරෙන් සමුගෙන යයි. නව හමුදාපති වශයෙන් රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ පත් කර ඇත. සින්නයියා මහතා සමු ගෙන යන්නේ අඩු ම කාලයක් තනතුර දැරූ නාවික හමුදාපති වශයෙන් වාර්තාවක් තබමිනි. ඔහු එම ධුරයට පත් කරන ලද්දේ පසුගිය අගෝස්තු 22 දා ය. ඒ අනුව ඔහු එම තනතුර දැරූ කාලය මාස දෙකකුත් දින හතරකි. රියර් අද්මිරාල් සින්නයියා ඍජු ව කටයුතු කරන නීතිගරුක නිලධාරියකු ලෙස නාවික හමුදාව තුළ පිළිගැනීමට ලක් ව සිටියේ ය. ඔහුට සේවා දිගුවක් ලබා නොදී ගෙදර යැවීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත්තේ රුසියානු ආයුධ නැවක් මිල දී ගැනීමට ඔහු විරුද්ධත්වය පළ කිරීම නිසා යැයි නොනිල ආරංචි මාර්ගවලින් පැවසෙයි. එය ඇත්තක් ද නැද්ද යන්න අපි නොදනිමු. ඒ බව දැන ගන්නට තව මත් කල් වැඩි ය.
සින්නයියා මහතාට නාවික හමුදාපති තනතුර ලබා දුන් විට බොහෝ සමාජ ජාලා මධ්‍ය මගින් ඒ ගැන උජාරු කතා කීහ. එහෙත් ඔහු ව ගෙදර යවන විට ඒ කිසිවකු ඔහු වෙනුවෙන් වචනයක් හෝ කතා කරන බවක් නොපෙනේ. සින්නයියා මහතාට තනතුර අහිමි කෙරෙන්නේ ඔහුට සිය තනතුරට හිමි නිල නිවසට යන්නට වත් අවස්ථාවක් නොදෙමිනි.
නව නාවික හමුදාපතිවරයා පත් කිරීමට අමාත්‍ය දුමින්ද දිසානායක බලපෑම් කර ඇති බව ද ඉහත කී නොනිල ආරංචි මාර්ගයෙන් පැවසෙයි. රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ අනුරාධපුරෙන් ආ අයකු බව ද දැන ගන්නට ඇත. ලබන මස 17 දාට ඔහුගේ වයස අවුරුදු 55 සම්පූර්ණ වෙයි. රුසියානු යුද අවි නැව මිල දී ගැනීමට නව නාවික හමුදාපතිවරයාගේ එකඟත්වය ලැබීම හෝ නොලැබීම මත ඔහුට ද සේවා දිගුවක් ලැබීම හෝ නොලැබීම හෝ තීරණය වනු ඇති බව ද කියවෙයි.
යහපාලනයක් යටතේ මෙවැනි දේ සිදු විය හැකි ද?
ප.ලි.
මේ සටහන ලියූ පසු ව ලැබුණු ආරංචියකින් කියවුණේ ඉහත කී රුසියානු ආයුධ නෞකාව මිල දී ගැනීමේ උත්සාහය පසුපස සිටින පුද්ගලයා ජනාධිපතිවරයාගේ බෑණා බවයි.

 

( ධර්ම ශ්‍රී කාරියවසම් – මුහුණු පිටුවෙන් )

Leave a Reply

Your email address will not be published. Required fields are marked *