මන්දාකිණියේ කුමරී ( 3 කොටස )

“ඉතිං ඒකට මොකද දේවි, එයාට යාළුවොත් නෑනෙ.ඉතින් තනියම සෙල්ලම් කරපුවාවෙ”
ෂෙවාන් සැහැල්ලු ස්වරයෙන් පැවසුවේ දේවින්දි ස්වභාවයෙන්ම සුළු දේවලට ද බිය වන තැනැත්තියක් බව දන්නා නිසාමය.

“නැහැ ෂෙව්… එයා කිරිටොපි කන්න ආසයිනෙ. “

“ ඉතිං? “

“ එයාව ගෙදර පුරා හොයලත් හොයාගන්න බැරි වුණ නිසා මම එයා ආසම කිරිටොෆි කන්න එන්න කීවා විතරයි මෙයා ඉන්විසිබල් වෙලා වගේ වහලෙ ඉදන් අපේ සීලිම හරහා ඩික් ගාල ආවනෙ, අද විතරක් නෙවෙයි දවසක් අම්මි මේ කියල අපේ ටීවී කාමරේ බිත්තියෙන් අත එළියට දාල කීව මම එක්ස් මෙන් කාටූන් එකේ වගේ වෙලා කියල.මම දන්නෑ මොනා කරන්නද කියල. එයා දැන් ලොකු වේගෙන එනව ෂෙව්. මේ නවීන තාක්ෂණ ලෝකෙ අපි කොහොමද එයාව ආරක්ෂා කරගන්නේ…”

දේවින්දිගේ කටහඩ වෙව්ලන්නට විය.

“එයාව නැතිවෙයි කියල බයයි මට ”
දේවින්දි දෑසින් ගලා වැටුණු කඳුලු පිස දමමින් පැවසීය.මෙතෙක් වෙලා සාවධානව අසා සිටි ෂෙවාන් ,දේවින්දිව තුරුලට ගෙන හිස පිරිමැද්දාය.

“දේවි, මේ අහන්න. අපේ පුංචි පැංචි තාම පොඩියිනෙ. එයාට යාළුවො නැති නිසා තනිවෙලා.ඒකයි ඔච්චර දඟ.. අනික ඉස්සර වගේ නෙවෙයි දැන් කාලෙ අළුත්..වෙනස්.. ටීවී එකේ සුපර්මෑන්, ස්පයිඩර්මෑන් කිය කියා කතා කාටූන් යනව.ඉතින් අපේ දූට තේරෙනව එයටත් එහෙම අමුතු පවර් තියෙනවා කියල.අපිට ඇත්ත කියන්න පුළුවන් එයාට ඒත් තාම ඒකට වෙලාව නෙවෙයි.හ්ම් එයාව අපි ආදරෙන් බලා ගමු.එයා අපි ළගින් ඉදියි එතකොට..ඔයා නිකං බොරුවට කලබල වෙලා පණ”

“ඒත් ෂෙව් …” දේවින්දි දරු දුක සිතෙහි දරා ඉකිබිදිනු ෂෙවාන්ට දරාගත නොහැකි විය.

“දැන් හොඳටම රෑ වෙලානෙ මැණික. නාඬා නිදාගන්න. මම ඉන්නව නෙ. බය වෙන්නෙපා. හැමදේම හරියයි”

ෂෙවාන් ඇඳ අසල ලා එළියෙන් පත්තු වෙමින් තිබූ බිත්ති ලයිට් එක නිවා දැමීය. දේවින්දිට ධෛර්ය දුන්නද ෂෙවාන්ගේ සිත තුළද ක්‍රිස්ටෙලා නැතිව යාවිදෝයි බියක් ඇතිවිය.

* * * *

“ ආර්.එම්.කේ සංදීපනී රත්නවීර ”

“ප්‍රසන්ට් මිස්”

“කම් හියර් විත් යුඅ හෝම් වර්ක්”

“යර්ස් මිස්”

පුංචි ක්‍රිස්ටෙලා යන්නෙ ඉන්ටර්නැෂනල් ඉස්කෝලෙකට, දේවින්දි සහ ෂෙවාන් ඇයව ඉංග්‍රීසි පාසලකට දැම්මෙ කවදා හෝ ඇයට ඉංග්‍රීසි දැනුම බෙහෙවින් අවශ්‍ය වන නිසාය. දස හැවිරිදි වියේ සිටියත් ඇයට මනා ලෙස ඉංග්‍රීසි භාෂාව හැසිරවිය හැකි විය. අන් ළමුන් මෙන් නොව සිංහල භාෂාව ද නියමාකාර උච්චාරණයෙන් කතා කිරීමට ඇයට හැකිය. තම දරුවන් කළු සුද්දන් කිරීමට සෑම දෙමාපියෙකුම උත්සාහ දරන සමයක ක්‍රිස්ටෙලාගේ දෙමාපියන් පාසලේදී පමණක්ම ඉංග්‍රීසි භාෂාවට මුල්තැන දී ගෙදරදී වැඩි වශයෙන් සිංහල භාවිතා කරති.

ක්‍රිස්ටෙලාගේ පියා ‘ රත්නවීර මුදියන්සේලාගේ ෂෙවාන් ඉන්ද්‍රජිත් රත්නවීර’ පෞද්ගලික අංශයේ සමාගමක විධායක ශ්‍රේණියේ රැකියාවක නියුතු ඔහු මසකට 80,000/- පමණ වැටුපක් ලබන ආදරණීය පියෙකි, අවංක ස්වාමිපුරුෂයකි. ඔහු තම බිරිඳ රණබාහු ආරච්චිලාගේ දේවින්දි පියුමාලි රණබාහුට බෙහෙවින් ප්‍රේම කරයි. ඔහු කෙතරම් ප්‍රේම කරයි ද යත් පවුල් දෙකේම අකමැත්ත මත දේවින්දි හා විවාහය විය. දේවින්දිගෙන් පසු ඔහු ඒ හා සමානව ම ආදරය කළේ තම සිඟිති දියණිය ක්‍රිස්ටෙලාටය.

“ක්‍රිස්ටෙලා“ නම බොහෝ වෙනස් ආරයක නමක් වුවද,ෂෙවාන් සහ දේවින්දි බොහෝසේ තම සිංහල සංස්කෘතියට ගරු කරන දෙමාපිය දෙපළක් වුව ද ඔවුනට එම නම තැබීමට සිදුවිය. එම නම ක්‍රිස්ටෙලා හට උපතින් උරුම නමයි. එහෙයින් එය ගෙදරට සහ උප්පැන්යට පමණක්ම සීමා වූවක් විය.

ක්‍රිස්ටෙලා හමු වී දින තුනකට පසු ඔවුන් ඇයව පොලීසියට බාර දී පාර අයිනක කුණු ගොඩක සිටි දියණිය තමන්ගේ දරුවකු සේ දරුකමට හදා ගැනීමට කැමැත්ත ප්‍රකාශයටපත් කර නීත්‍යානුකූලව උප්පැන්නයක් සාදා ඇයව අයිති කරගත්හ. එතැන් පටන් තුන් මසක් ඉකුත් වීමෙන් අනතුරුව සූරියකන්ද සිට කුරුණෑගලට පැමිණ රහසේ ජීවත් වූහ. එ් වෙන කිසිවක් නිසා නොව ක්‍රිස්ටෙලා හමු වුූ ඒ ගුප්ත සිදුවීම සමාජයෙන් වසන් කිරීමට අවැසි නිසාය.

සියලුම නෑදෑයන්, යහළුවන්ගෙන ඈත් ව සියලු සබඳතා විසන්ධි කොට අළුත් දිවියක් ගත කිරීමට ඔවුන් කුරුණෑගලට පැමිණෙන විට ක්‍රිස්ටෙලා අවුරුදු එකක් වයසැති බිළින්දියකි. ඇගේ මව ක්‍රිස්ටෙලාට මාස 6 වන විට මෙහෙට අරන් විත් මොවුන්ට බාර දුන්නාය. ඉතිරි මාස හය ඇයව ඔවුන්ගේ නෑදෑ හිතමිතුරන්ගේ නෙත ගැටීමෙන් වැළැක්වීමට ඔවුන් දෙදෙනාට මහත් ශ්‍රමයක් ගැනීමට සිදුවිය. අන්තිමට මෙය දීර්ඝකාලීනව කළ නොහැක්කක් බව තේරැණෙන් ඔවුන් පදිංචිය වෙනස් කිරිීමට තීරණය කළෝය. එහි ප්‍රතිඵලයක් ලෙස කුරැණෑගල ආගමනය සිදු විය.

ඇත්තෙන්ම ක්‍රිස්ටෙලා මේ මිහිපිට උපන් බිළින්දියක් නොවුණාය. ඇය තාරුකා මණ්ඩල 5කට එහා වෙනත් විශ්වයකින්, වෙනත් ග්‍රහලොවකින් ආ කුමාරියකි. උපතින්ම කුමාරියක් වූ ඇය ලෝකයේ ඇති ලස්සන ම දිවයින වූ ඉන්දියන් සාගරයේ මුතු ඇටයට ආ සැටි නම් අපූරුය. ඇමරිකාව වැනි ලෝකයේ බලගතු රාජ්‍යයන් තිබිය දී කුමකට ද ඇය ව,එක් කුමාරියක් ව මෙවන් දියුණු වෙමින් පවතින රටකට ගෙන ආවේ..?? එයට හේතුව නම් ශ්‍රී ලංකාවේ මිනිස්සුන් අතර ඇති මිනිසත්කම. සිංහලයකු තම පරම සතුරකු වුව ගෙදරට පැමිණි විට මූණ හරවන් නොයයි. තමන්ට හැකි ලෙස ආගන්තුක සත්කාරය කරයි. අවුරුද්දක් මුලුල්ලේ ඇති නොහොඳ නෝක්කාඩුකම්, හිත් අමනාපකම් සිංහල අවුරුදු දවසට බුලත් දී සමථයකට පත්කර ගනිති. සියලු ආගම් ජාතීන් එක මවකගේ දරුකැල සේ සහෝදරත්වයෙන් වැජඹෙන්නේ ලංකා මාතාවගේ තුරුලෙහි පමණි. ඇමරිකාව හාත්පසින්ම වෙනස්ය. සංස්කෘතියක් සදාචාරයක් නොමැති තරම්ය. ඒ වගේම ජනප්‍රියත්වය ඉහළින් ලැබෙන රටක් නිසා ක්‍රිස්ටෙලා කුමරියට ජීවිත තර්ජන එල්ල වීමට ඇති ඉඩකඩ බොහෝය. ඒ හේතුවෙන් ඇය ලක් මවට දායාද විය.

කෙසේ වුවත් ෂෙවාන් සහ දේවින්දි ක්‍රිස්ටෙලාගේ රහස්‍යභාවය රැකගත්තේ ඇයට ඇති සෙනෙහස නිසාමය.

මතු සම්බන්ධයි….!!

©හංසි රණසිංහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *