මන්දාකිණියේ කුමරී – (1 කොටස ) – හංසි රණසිංහ

හිරු කෙමෙන් කෙමෙන් තම රැස් සගවා ගන්නා යාමයේ නිස්කලංක සොදුරු නිවහනක පැවත් ඒකාකාරී නිශ්ශබ්දතාවය බිදිමින් ආදරණීය වූ කට හඩක් ගුවනට මුසු වූවාය.

“ක්‍රිස්ටෙලා … දූ .. ක්‍රිස්ටෙලා”

දේවින්දි වරක් දෙකක් ආදරයෙන් කතා කළ ද කිසිත් පිළිතුරක් නොලැබ බියෙන් යුතුව මුළු දෙමහල් නිවස පුරා ම කෑ ගසමින් තම සුරතල් දියණිය සොයන්නට විය. දියණියගේ දගකාරකම් දනිතත් ඇගෙන් ප්‍රතිචාරයක් නොලැබෙන විට ඇගේ සිත බියෙන් පීඩිත වූයේ තම දියණිය සුවිශේෂී අයෙකු වූ නිසාමය. සාමාන්‍ය දරුවෙකු නොවූයෙන් ඇගේ ආරක්ෂාව මහමෙරකට වඩා බරක් ලෙසට දේවින්දිගේ කර මත පැටවී තිබිණි.
බිම් මහලේ සෑම අස්සක මුල්ලකම සෙවූවත් තම සුරතල් දියණිය සොයා ගැනීමට නොහැකි වූ තැන ඇය තරප්පැ පෙල ඔස්සේ උඩු මහළෙහි වූ තම දියණියගේ කාමරයට යන්නට විය. විටෙක ඇය මවා ගත් කෝපයෙනුත් විටෙක කලබලයෙනුත් තම දියණියට ආමන්ත්‍රණය කළාය.

“කෝ මේ ළමයා…. ඉන්න තැනකින් එන්නකො සුදු දූ මගේ……………………“

‘‘ …….. ආ එහෙනම් ඉතිං මම මේ හදපු මිල්ක් ටොෆී ඔක්කොම කන්නම්.. ඔයාට එපානෙ”

පැණි රස කෑමට දැඩි ඇල්මක් දක්වන තම දියණිය කොහේ සැගව සිටියත් පැණිරස යන්න ඇසූ සුනින් පැමිණෙන බව දත් දේවින්දි ඇගේ අවසාන තුරැම්පුව වූ කිරිටොෆි පිළිබදව සදහන් කළාය.

එක පාරටම දේවින්දි ඉදිරියේ සීලිම තුලින් යමෙක් ටයිල්ස් උඩට පතිත විය. අදුරු සෙවනැල්ලක් විලසට වහලය මත සිට සීවිලිම තරණය කර දේවින්දි ඉදිරියට බට එම තැනැත්තා දුටු දේවින්දි බිය වූ බවක් නම් නොපෙනිණි. ඇය බිය වනවා වෙනුවට මුවට හසරැල්ලක් මවා ගත්තාය.

“අම්මි ,මම ආවා…..කෝ මිල්ක් ටොෆී….මගේ ආසම කෑම”

අදුරු සෙවනැල්ල ක්ෂණයෙන් කුඩා දරුවකුගේ ස්වරෑපය ධාරණය කර ගත්තාය.
“ක්‍රිස්ටෙලා මම කීපාරක් කීවද ඔහොම කරන්න එපා කියල, අනික ඔයා ආයෙත් වහලෙ උඩට ගියා ද?”
දේවින්දි තරමක තරවටු ස්වරයෙන් කෝපයෙන් පැවසුවා.

තාම දස හැවිරිදි කිසිත් නොතේරෙන තම දියණියගේ දඟකාරකම් නිසා ඇයට උපතින්ම හිමි වූ බලයන් ලෝකයා දැන ගත හොත් ඉන් තම සුරතල් මල් කැකුළට හානියක් වේයැයි දේවින්දි සැමවිටම බිය වූවාය.
“ඉතිං අම්මි කව්රුවත් දැක්කෙ නෑනෙ, අපි ගෙදරනෙ ඉන්නෙ……….කෝ ටොෆී…??”

කිසි බරපතලකමක් නොතේරෙන වයසක සිටිනා දැරිය මව සමඟ හුරතල් වූවාය. දුක සිතෙන හුරතල් හුරුබුහුටි මුහුණක් මවා පා තම මවගේ තරහව නිවීමට ක්‍රිස්ටෙලා කවදත් සමත්ය.
“මගේ හුරතල් පුංචි දුවේ.. ඔයා දන්නවද ඔයාව අපිට දුන්නෙ දෙයියො, ඉතින් ඔයාගෙ ඔය ව්ශේෂ දස්කම් ඔයා කාට හරි කීවොත් හරි, පෙන්නුවොත් හරි අම්මිවයි තාත්තිවයි ඔයාට නැතිවෙයි”

තම මුළු ලෝකයම වූ එම දැරිය දෑතින්ම තම පපුවට තුරුලු කොට දේවින්දි මව් සෙනෙහස පිරි ගැහෙන හඩින් යුතුව පැවසීය.
“මම පොරොන්දු වෙනවා ආයෙ එහෙම වෙන්නැහැ කියල” තම මවගේ ප්‍රකාශයෙන් තමන් වරදක් කළාදෝයි යන හැගීම දැරියගේ සිතට දැනෙන්නට විය. එම වරදකාරී හැගීමෙන් ඇය තම මවට තව තවත් තුරැලු වූවාය.
“එන්න ඔඩොක්කුවට මගේ සූකිරි බට්ට්.. උම්ම්ම්ම්මා,,” දියණියගේ අහිංසක බව හමුවේ දේවින්දිගේ මව් සෙනෙහස පිරී උතුරන්නට විය.

හය හතර නොතේරෙන වයසක සිටිනා තම දියණියට ඇගේ සුවිශේෂීත්වය කෙසේ නම් තේරුම් කර දෙන්නේදැයි දේවින්දි තනිව ම සිතුවාය.
ක්‍රිස්ටෙලාගේ දගකම් හමුවේ සියළු ප්‍රශ්න මොහොතකට අමතක කර දැමූ දේවින්දි ඇයට සවස තේ පානයට සෑදූ කිරිටොෆි දුන්නාය. ඇය රස කරමින් කිරිටොෆි සියල්ල එක කටට කන අයුරු දේවින්දි බලා සාටියේ සිනහ මුසු මුහුණිනි.
නිවසේ සියළු වැඩ අහවර කර දේවින්දි බලා සිටියේ තම ස්වාම්පුරුෂයා නිවසට පැමිණෙන තුරුය. ක්‍රිස්ටෙලාගේ දගකාරකම් වල ඇති අවධානම ඇයට ඔහු සමග පැවසීමට අවැසි වී තිබිණි. ක්‍රිස්ටෙලා තවම දස හැවිරිදි වුව ද ඇගේ බලයන් දිනෙන් දින මෝදු වෙම්න් තිබීමත් තව දුරටත් ඇයගෙන් සියළු සත්‍ය වසන් කර තැබීම උචිත නොවන බවත් ෂෙවාන්ට පැවසිය යුතුමය.
එහෙයින් ම ඇය පුංචි ක්‍රිස්ටෙලාව වේලාසන නහවා , කවා , පොවා නින්දට යැව්වාය.
ඉනික්බිතිව ඇය ෂෙවාන් එන පෙරමග බලා සිටින්නට වූවාය.
ෂෙවාන් එනතෙක් ආලින්දයේ වූ පුටුවට බර වී ඇය දහවලේ වුණු සිද්දිය පිළිබඳව සිතමින් හුන්නාය. ඇගේ වැසුණු දෑස් තුළ ඇගේ අතීතය යළිත් හිස ඔසවන්නට විය.
දේවින්දිට ෂෙවාන් හමු වූයේ ඔවුන් විශව විද්‍යාලයේ සිට්න සමයේය. ආදර සම්බන්ධයක් වූ නිසාම දෙදෙනාගේ ම නිවෙස් වලින් ඔවුන්ට ආශිර්වාද නොකළේ සාම්ප්‍රදාය්ක කුල මල භේද ගෙන හැර දක්වමිනි. ඉන පසු ඔවුන්ගේ හිතුමතයට විවාහ වී දරැඵල නොලැබ සිටිනා විට දෙපාර්ශවයේ ඈයන්ගෙන් ලැබුණු ගැරහුම් හමුවේ තමන් සැලෙනා විට ෂෙවාන් පවුරක් සේ හිද තමන් ආරක්ෂා කළ හැටි මතක් වන විට අදට ද දේවින්දිගේ නෙතට කදුලැලි නැගෙයි.

දෛවයේ පැතූපරිද්දෙන් තමන්ට ලැබුණු ලොකුම දායාදය වූ ක්‍රිස්ටෙලා හට තම කුසින් ජීවය නොදුන්න ද දේවින්දිගේ මුළු ජිවිතයම වූයේ ඇයයි. ෂෙවාන් ද තම දරුවකු නොවුණත් ක්‍රිස්ටෙලා හට අසීමිතව ස්නේහය දැක්වූවේය. පුංචි ක්‍රිස්ටෙලා හමු වූ මොහොතේ සිටම ,ඇත්තටම හමු වූවා නොව පුංචි ක්‍රිස්ටෙලා තම භාරයට පත් වූ මොහොතේ සිට ෂෙවාන් ඇයව තමාගේ ල්‍රේ ඇට මස් නහරින් මේ ලොවට ජනිත වූ වස්තුවක් ලෙස රැකවරණය දුන්නේය. දේවින්දි සහ ෂෙවාන් දෙපළ සැමවිටම බිය වූ එකම දෙය නම් ක්‍රිස්ටෙලා ඔවුන්ගෙන් වෙන් වීමය. මන්ද ක්‍රිස්ටෙලා ඔවුන්ගේ ජීවිතයේ නව අරුත වී හමාරය. ඇගෙන් තොර ලොවක් මේ වන විට ඔවුන් දෙදෙනාට ම සිහිනයෙන්වත් සිත්ය නොහැක. ක්‍රිස්ටෙලා නිසා ඔවුන් කලින් පදිංචිය වෙනස් කර කුරුණෑගලට පැමිණියේ කිසිවෙකුටත් ක්‍රිස්ටෙලා ඔවුන්ගේ දියණියක් නොවන බව දැනීමට ඉඩ නොතබාය.

දහසක් සිතිවිලි මැද සිටි දේවින්දිගේ දැහැන බිදුනේ ෂෙවාන්ගේ කාරයෙහි හඬ ඇසීමෙනි. ඇය දෙකොපුල් දිගේ රූරා වැටෙන කදුලැලි අතින් පිස දමමින් ෂෙවාන් පිළිගැනීමට දොර විවර කළාය.

මතු සම්බන්ධයි..!
©හංසි රණසිංහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *