සයිටම් සටන කම්කරුවන්ගේ දරුවන්ගේත් ප්‍රශ්නයක්’ – සිල්වෙස්ටර් ජයකොඩි

වර්තමානයේ පවතින දේශපාලන තත්ත්වය හමුවේ වෘත්තීය සමිතිවල ක්‍රියාකාරීත්වය ගැන ඔබේ නිරීක්ෂණ මොනවාද?

සිල්වෙස්ටර් ජයකොඩි: අද තියෙන්නේ වෘත්තීය සමිති ව්‍යාපාර නෙමෙයි, වෘත්තීය සමිති. මේවට එක එක න්‍යාය පත්‍ර තියෙනවා. සමහර වෘත්තීය සමිති දේශපාලන පක්ෂ විසින් තමයි මෙහෙය වන්නේ. දේශපාලනඥයන් තමයි ඒ සමිතිවල නායකයන් විදිහට ඉන්නේ. උදාහරණයක් විදිහට කියනවනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වෘත්තීය සමිති සම්මේලනයේ සභාපතිවරයා විදිහට කටයුතු කරන්නේ ජනාධිපතිවරයා. එ්කෙන්ම හිතා ගන්න පුලුවන්නේ ඒගොල්ලන්ගේ වෘත්තීය සමිති කොච්චර ස්වාධීනද කියලා. අනෙක අරගලවලට මැදිහත්වෙන්නේ කොහොමද කියලා. එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වෘත්තීය සමිතිවල තත්ත්වයත් එහෙම ම තමයි. එතකොට ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිතිය සම්පුර්ණයෙන්ම මෙහෙයවන්නෙත් ඒ පක්ෂයෙන්මයි. ‘අපි ස්වාධීනයි’ කියන වෘත්තීය සමිතිවලට බෑ රටේ තීරණාත්මක ප්‍රශ්නයකදි ලොකු මැදිහත්වීමක් හරි බලපෑමක් හරි කරන්න.

සීඑම්යූ එක කිසිම දේශපාලන පක්ෂයකට සම්බන්ධ වෘත්තීය සමිතියක් නෙමෙයි. ’90 දශකයේ මැද භාගය විතර වෙනකම් ම අපි වෘත්තීය සමිති ක්ෂේත්‍රයේ යම් ප්‍රබල මට්ටමක හිටියා. හැබැයි පස්සේ මේක ටිකෙන් ටික වෙනස් වෙන්න පටන් ගන්නවා. මොකද සමහර අය ළමයි ඉස්කෝලෙට දාගන්න, මාරුවක් හදාගන්න, උසස් වීමක් ගන්න වගේ දේවල්වලට දේශපාලනඥයන් පස්සේ යන්න පුරුදු වෙනවනේ. ඒකෙන් වෘත්තීය සමිතිවලට තිබ්බ බලය දියවෙලා ගියා කියලයි මට නම් හිතෙන්නේ.

දැන් තවත් එකක් තමයි ආණ්ඩු බලයට ගේන්න සමහර වෘත්තීය සමිති කරන මැදිහත් වීම්. මේක සමාන්‍ය භාෂාවෙන් කියනවනම් ඒගොල්ලෝ කරන්නේ ආණ්ඩුවට කඩේ යන එක. හැබැයි ඉතින් අන්තිමට තමන්ගේ වෘත්තීය ප්‍රශ්න විසඳගන්න ඒගොල්ලන්ට කරන්න වෙන්නෙත් අරගලයක් කරන එකම තමයි . මොකද ආණ්ඩු පත් කරන්න මැදිහත් වුණා කියලා කිසිම ආණ්ඩුවක් වෘත්තීය සමිතිවල ප්‍රශ්න විසඳන්න මැදිහත් වෙන්නේ නෑනේ. මොන ආණ්ඩුවත් කරන්නේ ඉඩ ලැබුණු ගමන් ඒවා පුලුවන් තරම් මර්දනය කරලා දාන එකයි. අපි දැක්කා පහුගිය දවස්වල ඛණිජ තෙල්, වරාය වගේ තැන්වල ඇති වුණු වැඩ වර්ජන මර්දනය කරන්න ආණ්ඩුව කොහොමද වැඩ කළේ කියලා. ආණ්ඩුවට හිතවත් වෘත්තීය සමිති එතන තිබ්බා කියලා පුලුවන් වුණාද ඉල්ලීම් දිනා ගන්න?

2015 ජනවාරි මාසයේ ඇතිවු ආණ්ඩු වෙනසින් පසුව ඇතැම් වෘත්තීය සමිති විවෘතවම ආණ්ඩුවේ න්‍යාය පත්‍රයන් අනුමත කරමින් ඒවා සමග එකට එකතුව කටයුතු කිරීම ආරම්භ කරනු ලැබුවා. මේ තත්ත්වය සමස්ත වෘත්තීය සමිති ව්‍යාපාරයට ඇති කරන්නේ මොන වගේ බලපෑමක්ද?

ජයකොඩි: ඔය හැමෝම හොඳයි කියන වෙනසේ හැටි තමයි ඉස්සල්ලම කියන්න වෙන්නේ. දවසක් දෙකක් යද්දි අපිට නම් ඒ වෙනසේ තරම හොඳටම තේරුණා. ඇතිවුණාය කියන වෙනස ප්‍රචාරක මිත්‍යාවක්. පරණ ආණ්ඩුවේ හතරෙන් තුනක් මේ ආණ්ඩුවට එකතු වුණාම ඒකට කියන්නේ ‘යහපාලනය’ කියලාද?

අවුරුද්දක් විතර එක දිගටම විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ මහ පාරවල්වල උද්ඝෝෂණය කරනවා සයිටම් ආයතනය අහෝසි කරන්න කියලා. ශිෂ්‍යයෝ එහෙම කරන්නේ ඒගොල්ලන්ට වෙන කරන්න දෙයක් නැති නිසාද? එහෙම නැත්නම් නිදහස් අධ්‍යාපනයයි, නිදහස් සෞඛ්‍යයි රැකගන්න තියන උවමනාවටද? සයිටම් විරෝධී මතවාදය සමාජගත කරන්න අපි හැමෝටම වැඩියෙන් කටයුතු කරන්නේ මේ රටේ ශිෂ්‍ය සංවිධාන. ඒ ළමයි නොකා, නොබී තමන්ගේ අධ්‍යාපන කටයුතු, දේශන කටයුතු පාඩු කරගෙන පොලිසියෙන් ගුටි කකා, හිරගෙවල්වල වැටි වැටී මේ සටන ඉස්සරහට අරන් යනවා. නමුත් මේ ප්‍රශ්නය ගැන මේ ආණ්ඩුව කටයුතු කරන්නේ මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව කටයුතු කරපු විදිහට නොදෙවෙනි විදිහට කියලායි මම හිතන්නේ. මේ ගොල්ලෝ හැම වෙලේම කියන්නේ මොකද්ද? රාජපක්ෂගේ ආණ්ඩුව බොන්න වතුර ඉල්ලලා අරගල කරපු රතුපස්වල මිනිස්සුන්ට වෙඩි තියලා මැරුවා, කටුනායක රොෂේන් චානකට වෙඩි තියලා මැරුවා කියලා තමයි අද ප්‍රශ්නයක් මතුවෙන හැම වෙලාවකම ආණ්ඩුව තමන්ගේ නිදහස වෙනුවෙන් කියන්නේ. එතකොට ඒ අපරාධ ගැන කිය කිය දැන් කරන ඒවා හරියි කියලා කියන්නද මේ ආණ්ඩුවටයි ඒ අයට හිතවත් වෘත්තීය සමිතිවල නායකයන්ටයි ඕනේ කරන්නේ? මේ ආණ්ඩුව කම්කරුවන්ව මර්දනය කරන්නේ නැද්ද? ශිෂ්‍යයන්ව හිරේ විලංගුවේ දාන්නේ නැද්ද? සාමකාමී විරෝධතාවලට, උද්ඝෝෂණවලට කඳුලු ගෑස් ගහන්නේ නැද්ද? ලහිරු වීරසේකර ශිෂ්‍යයා තවමත් හිරේ. ඔය සයිටම් ප්‍රශ්නය නිසාම ආණ්ඩුව විශ්ව විද්‍යාල දරුවෝ කීදෙනෙක්ගේ ඔලුගෙඩි පලලා දැම්මද? ශිෂ්‍යයෝ කීදෙනෙක්ව මහ දවාලේ පැහැරගෙන යන්න හැදුවද?

ආණ්ඩුවයි, ආණ්ඩුවට ගැතිකම් කරන සමහර වෘත්තීය සමිති නායකයොයි මේවා එච්චර බරපතල දේවල් නෙමෙයි, ගණන් ගතයුතු දේවල් නෙමෙයි කියලා කීවට අපිට නම් එහෙම නෙමෙයි. ඒ කාලේ කළ ඒවත් අපරාධ, මේවත් අපරාධ. ඒ අපරාධ කරපු අයට, දුෂණ වංචා කරපු අයට දෙන්නේ මොන විදිහේ දඬුවම්ද කියලත් මේ ගොල්ලෝ ඒ දවස්වල කිවුවනේ. කෝ දැන් ඒ දඬුවම්? දුෂණ වංචා ගැන හොයන්න කියලා වෙනම ආයතන ඇරියා. කොමිසම් දැම්මා. ඒවට මොනවද වුණේ? පහුගිය ආණ්ඩුවේ අපරාධ කරපු අය, දූෂණ වංචා කරපු අය කිසිම බයක් සැකක් නැතුව අදටත් නිදහසේ ඉන්නවා . ඒ දවස්වල හොරුයි කියපු, අපරාධකාරයෝ කියලා කියපු අයවම තමයි අද මේ ආණ්ඩුව කිසිම විලි ලැජ්ජාවක් නැතුව තමන්ගේ ආණ්ඩුවට එකතු කරගෙන ලොකු ලොකු තනතුරු දීලා තියාගෙන ඉන්නේ.

මම කැමතියි තවත් දෙයක් කියන්න. ඒ තමයි අපේ රටේ වෘත්තීය සමිති නායකයන් පොදු සටන්වලදි කටයුතු කරන විදිහ. සමහර වෙලාවට මේ ගොඩක් දෙනෙක් හරිම අවස්ථාවාදියි. හිතන්නේ තමන්ගේ පක්ෂය ගැන විතරමයි. මේකට තියෙන එක උදාහරණයක් තමයි ටෙලිකොම් මෑන්පවර් සටන. ටෙලිකොම් සමාගම හියුමන් කැපිටල් සොල්‍යුෂන් කියන නමින් තවත් කොම්පැණියක් පිහිටුවලා ඒකට සේවකයෝ බඳවාගෙන ටෙලිකොම් එකේ වැඩට ගත්තා. මට මතක විදිහට එතැන සේවකයෝ දෙදාහකට වඩා ඉන්නවා. එ්ගොල්ලෝ අනෙක් අය වගේම සේවයට වාර්තා කරපු අය. ඒගොල්ලන්ගේ පරිපාලනය භාරව ඉන්නේ අර කියපු කොම්පැනිය. තමන්ටත් ටෙලිකොම් සේවකයන්ට හිමි සේවක අයිතිවාසිකම් ඉල්ලලා තමයි මේ අය වෘත්තීය අරගලයක් කෙරුවේ. ටෙලිකොම් එකට අනුබද්ධ වෘත්තීය සමිති 38 විතර තියෙනවා. මෑන් පවර් සේවකයන්ගේ සටනට සහයක් දෙන්න ඒ කාවවත් එක වේදිකාවකට ගේන්න බැරි වුණා. ඉස්සර මෙහෙම නෙමෙයි. එල්.ඩබ්ලියු පණ්ඩිත, පියදාස ආටිගල විතරක් නෙවෙයි, එක්තරා ප්‍රමාණයකට අලෙවි මවුලානා, අෂිස් වගේ වෘත්තීය සමිති නායකයෝ පවා මොන දේශපාලන මාතවාදයක හිටියත් කම්කරුවගේ ප්‍රශ්නයකදි එකට එකතු වුණා. නමුත් දැන් ඉන්න බහුතරයක් වෘත්තීය සමිතිකාරයෝ හැමෝටම දැනෙන ප්‍රධාන ප්‍රශ්නයකදිවත් එකට එකතු වෙන්නේ නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අනුබද්ධ වෘත්තීය සම්මේලනයේ ප්‍රධාන ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර රජයේ වැටුප් ලබන වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල්. ඉතින් එයා කාහොමද තමන්ට පත්වීම දිලා තියන ආණ්ඩුවට විරුද්ධව සේවකයන්ව පාරට බස්සන්නේ?

අනෙක් කාරණය ටෙලිකොම් එකේ සභාපති කවුද? ජනාධිපතිගේ සහෝදරයා. කම්කරු දෙපාර්තමේන්තුවට සේවකයෝ කරපු පැමිණිල්ල භාර ගන්න දින පහළොවකට වැඩිය ගත්තා. ඇයි ඒ? බයට. ටෙලිකොම් ආයතනය ජනාධිපතිගේ සුභ පැතුම් පණිවිඩ රටේ හැම දුරකතනයකටම නොමිලේ යවන්න මහජන මුදල් ලක්ෂ ගණනින් වැය කරනවා. ඒත් තමන්ගේ ආයතනයේ සේවකයන්ගේ සේවක ප්‍රශ්න විසඳන්න සල්ලි නෑ කියනවා.

පෞද්ගලීකරණයට එරෙහිවත්, සුබසාධන පිළිවෙත් ආරක්‍ෂා කිරීමටත් මූලිකත්වය ගත යුතු වෘත්තීය සමිති ව්‍යාපාරය, සයිටම් ආයතනයට විරුද්ධව මතුව ආ අරගලය තුළ ශිෂ්‍ය බලවේගය හුදකලා වන්නට ඉඩ හැර ඇති බවකුයි පෙනෙන්නට තියෙන්නේ. මේ හුදකලා කිරීම සහ එය තමන්ගේ අරගලයක් ලෙස පිළිගැනීමට බහුතරයක් වෘත්තීය සමිති අකමැති වීම හේතු කොට ගෙන ශිෂ්‍ය ව්‍යාපාරයට එරෙහි ආණ්ඩුවේ මර්දනය වඩාත් සංවිධානාත්මකව ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙලා තියෙනවා නේද?

ජයකොඩි: සමහර අය කියනවා සයිටම් එකට විරුද්ධව ශිෂ්‍යයෝ අරගල කරන්නේ ශිෂ්‍යයන්ගේ හරි එහෙමත් නැත්නම් රටේ සමාන්‍ය ජනතාවගේ හරි ඕනෑකමකට නෙමෙයි, මේක මේ ජේවීපී කාරයන්ගෙයි, පෙරටුගාමීන්ගෙයි උවමනාවට කරන එකක් කියලා. මේ මතය භේදයකින් තොරව ආණ්ඩුවේ වගේම පෞද්ගලික මාධ්‍යයත් නිතිපතා ප්‍රචාරය කරනවා. නමුත් ප්‍රශ්නය මේකයි: කඳුළු ගෑස් බැටන් පොලු ප්‍රහාරවලින් අත් කකුල් කඩාගෙන, හිරේ විලංගුවේ වැටිලා විභාග අතපසු කරගෙන ශිෂ්‍යයෝ පාරට බැහැල ඉන්නේ ඇයි? ඒක මේ දේශපාලන පක්ෂයක උවමනාවට කරන දෙයක්ද? මේ ළමයි මේ අරගලය කරන්නේ නොමිලේ අධ්‍යාපනය, නොමිලේ සෞඛ්‍ය සේවය ආරක්‍ෂා කරගැනීම වෙනුවෙන්. නමුත් ප්‍රශ්නය තමයි ඇයි සමහර පිරිස් දැනුවත්ව මේ ශිෂ්‍යයන්ගේ සටන හුදකලා වෙන්න හැරලා ක්‍රියා කරන්නේ කියලා. සමහර වෘත්තීය සමිති මේ ප්‍රශ්නෙදි හැසිරෙන විදිහ ගැන වෘත්තීය සමිති ක්‍රියාධරයෙක් විදියට මට කියන්නත් ලැජ්ජයි. සමහර අයට එක්කෝ ඒ ගැන කිසිම මතයක් නෑ, නැතිනම් තියෙන මතය කියන්න බයයි.

ගොඩක් දෙනෙක් හිතනවා ‘අනේ මේක මේ අපේ ප්‍රශ්නයක් නෙමෙයිනේ. කම්කරුවන්ගේ ප්‍රශ්නයක් නෙමෙයිනේ. ඉතින් අපි මොකටද මැදිහත් වෙන්නේ’ කියලා. ඒක සහමුලින්ම වැරදියි. මේ ප්‍රශ්නය අපේ කම්කරුවන්ගේ දරුවන්ගේ ප්‍රශ්නයක්. සමාජයේ පහළ පංතික දරුවන් අනාගතයේදි මුහුණ දෙන අධ්‍යාපන අයිිතිය පිළිබඳ ප්‍රශ්නයක්. කම්කරුවට තියෙන්නේ තමන්ගේ වැටුප හරි බෝනස් එක හරි වැඩිකර ගන්න එක ගැන විතරක්ද? අධ්‍යාපනයේ ප්‍රශ්න, නිදහස් සෞඛ්‍ය සේවයක් ගැන තියෙන ප්‍රශ්න කම්කරුවට අදාළ නැද්ද? අපේ සමිතියේ සමාජික සහෝදරවරු විතරක් නෙමෙයි, සයිටම් ප්‍රශ්නය අපේ ප්‍රශ්නයක් නෙමෙයි කියන වෘත්තීය සමිතිවල සාමාජිකත්වය දරණ කම්කරු සහෝදරවරු පවා අපිට ඇවිත් කියනවා, ‘අනේ සහෝදරයා මේ දරුවන්ගේ ප්‍රශ්නයට මැදිහත් වෙන්න’ කියලා. තවත් සහෝදරවරු ඇවිත් කියනවා ‘බලන්න සහෝදරයා මගේ ළමයා දැන් පන්ති වර්ජනය කරලා මාස ගාණක් වෙනවා, ස්ට්‍රයික් කරනවා, පොලිසියෙන් ගහලා. අනේ මොකක් හරි කරන්න බලන්න කියලා. මේවා කම්කරු අපේ ප්‍රශ්න නෙමෙයිද?

යුඑන්පීයේ වෘත්තීය සමිතිවලට හරි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෘත්තීය සමිතිවලට හරි, එහෙමත් නැත්නම් ආණ්ඩුවට සම්බන්ධ වෙනත් පක්ෂවල වෘත්තීය සමිතිවලට හරි පුලුවන් කමක් තියනවාද සයිටම් විරෝධී අරගලයට සහාය දෙන්නෙ? බැහැ! මොකද ඒවා පාලනය කරන්නේ ආණ්ඩුවේ හරි, ඒ ඒ පක්ෂවල හරි නායකයෝ. ඒ හැමෝම ඉන්නේ සයිටම් එකට පක්ෂ මතවාදයක.

දවස් කීපයකට කලින් වෘත්තීය සමිතිවල අපි කිහිප දෙනෙක් එකතු වෙලා ජීඑස්පී ප්ලස් ගැන සාකච්ඡාවකට ගියා යුරෝපා සංගමයේ තනාපතිවරයා එක්ක. ඒ සාකච්ඡාවට ඔය ජාතික කම්කරු උපදේශක සභාව කියන එකේ කීප දෙනෙකුත් ඇවිල්ලා හිටියා. තොන්ඩමන්ගේ සී.ඩබ්ලියු.සී එකෙන් ආපු උප සභාපතිවරයගෙන් මම ඇහුවා ඔගොල්ලෝ සයිටම් ප්‍රශ්නය ගැන මොකද කරන්නේ කියලා. එතකොට එයා මට දුන්න උත්තරය තමයි ‘අපෝ, අපෝ අපිට ඕවට වඩා වැඩි වැඩ තියනවා, ඕවා අපේ සමිතිවල ප්‍රශ්න නෙමෙයි’ කියලා. එතකොට එතන හිටියා ඇන්ටන් මාකස් එක්ක තවත් සමිති කිහිපයකම අය. ඒගොල්ලෝ කවුරුවත් සයිටම් ප්‍රශ්නය ගැන හරි ස්ථාවරයක් දරන්නේ නෑ. නිකන් හරියට ආඳා වගේ ලිස්සලා යනවා. අද ආණ්ඩුවට හිතවත්ව ක්‍රියාකරන වෘත්තීය සමිති නායකයෝ හරිම ධනවත් අය. ඒ අයට පුලුවන් මුදලට උපාධි දෙන පෞද්ගලික ආයතනයකට තමන්ගේ දරුවන්ව දාලා උගන්වන්න. නමුත් ඒක මේ රටේ අති බහුතරයක් කම්කරුවන්ගේ දරුවන්ට කරන්න බෑ. ඒ නිසයි අපි රාජ්‍ය අධ්‍යාපනය, සෞඛ්‍ය වගේ දේවල් රැකගන්න සටන් කරන මේ දරුවන්ගේ අරගලයට සහාය දෙන්න ඕනේ.

මේ දරුවන්ට පන්න පන්න පොලීසියෙන් ගහලා හිරේත් දැම්මට පස්සේ වෘත්තීය සමිති කීයක්ද ඒ ගැන අවංකවම තමන්ගේ විරෝධය ආණ්ඩුවට දැක්වුයේ. වෘත්තීය සමිති විතරක් නෙමෙයි, සමහර සිවිල් සමාජ නායකයෝ කියන අයත් හැසිරෙන්නේ එහෙමම තමයි.

මීට සමාන්තරව මතුවෙන තවත් ප්‍රශ්නයක් තියෙනවා. වර්ගවාදී හා ආගම්වාදී ප්‍රවණතා විසින් මතුකර ඇති අභියෝගය පරාජය කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව වෘත්තීය සමිති ව්‍යාපාරය තුළ ප්‍රමාණවත් අවධානයක් යොමුව තිබෙනවාද?

ජයකොඩි: සයිටම් ප්‍රශ්නෙදි වගේම මෙතැනදීත් සමහර සමිති නායකයෝ අනුගමනය කරන්නේ ආරක්ෂාකාරී අවස්ථාවාදී පිළිවෙතක්. තවත් එකක් මේ සමහර සමිතිවල තීන්දු තීරණ ක්‍රියාත්මක වෙන්නේ සාමාජීකයන්ට ඕනේ විදිහටම නෙමෙයි. එ්වායේ නායකයන්ට ඕනේ විදිහටයි. නායකයෝ ආණ්ඩු හිතවාදීනම්, ආගම්වාදීනම්, ජාතිවාදී නම් සාමාජිකයන්ටත් එහෙම වෙන්න වෙනවා. ස්වාධීනව ප්‍රජාතන්ත්‍රවාදයට අනුව කටයුතු කරන සමිතිවල එහෙම වෙන්නේ නෑ. ජාතිවාදයට, ආගම්වාදයට විරුද්ධව මතවාදී අරගලයක් කරන්නනේ කොහොමද, සමහර සමිතිවල නායකයන් පත් කරගන්නවත් කිසිම ප්‍රජාතන්ත්‍රවාදයක් නැතිකොට? ඉතින් කොහොමද රටේ ප්‍රශ්න ගැන ඒ සමිති ඇතුලේ නිදහස් මතයක් දරන්නේ? අරගල කරන්නේ? අනෙක් අතින්, ජාතිවාදී පාලකයන්ව ආරක්ෂා කරන්නත්, ඒ අයගේ මතවාද සමාජගත කරන්නත් ඔවුන්ට හිතවත් මේ වෘත්තීය සමිති ඕනෑම දෙයක් කරන්න සූදානම්. අපි පහුගිය යුද්ධ කාලේ හොඳට දැකපු දෙයක්නේ සමහර පක්ෂවල වෘත්තීය සමිති මොනතරම් පහත් විදිහට ද යුධවාදීව හැසිරුනේ කියලා. ඒ නිසා දැන් මතුවෙන ජාතිවාදී, ආගම්වාදී බලවේගවලට එරෙහිව ක්‍රියාකරන්න අවශ්‍ය දේශපාලන දැකම මේ කියන නායකයන් බහුතරයකට නැහැ.

යුරෝපා සංගමය විසින් ලබාදෙන ජීඑස්පී ප්ලස් සහනය නැවත ලබා ගැනීම ආණ්ඩුව ලබාගත් ජයග්‍රහණයක් ලෙසත්, කම්කරු සහ මානව අයිතීන් සම්බන්ධයෙන් ආණ්ඩුවේ පිළිවෙත් ජාත්‍යන්තරව පිළිගැනීමක් ලෙසටත් අර්ථ දැක්වෙනවා. මේ ගැන ඔබේ අදහස මොකක්ද?

ජයකොඩි: ඇත්තම කාරණය මේකයි: මේ ආණ්ඩුව පත් වුණාට පස්සේ කම්හල් හිමියන්ගේ සහ ආයෝජකයන්ගේ පැහැදිලි ආකල්පමය වෙනසක් දක්නට තියෙනවා. ආයෝජකයෝ කියනවා ‘උඹලගේ නීති රීති මොන විදිහට තිබුණත් අපි කරන්නේ අපිට ඕන දේ.’ ඔය ජාත්‍යන්තර හරි ජාතික හරි කම්කරු නීති රෙගුලාසි ලංකාවට එන විදේශ ආයෝජකයන්ට අදාළ නෑ. ඒවා ගැන තැකීමක් කළ යුතුයි කියලා ලංකාවේ පාලකයෝ කිසිම බලපෑමක් කරන්නෙත් නෑ. පහුගිය මැයි මාසේදි අපේ සංගමයට බැඳුනා වයික්කාලේ රංවැලි හෝටලයේ සේවක සහෝදරවරු පිරිසක්. හෝටලයේ පාලකයෝ සමිතියේ 25 දෙනෙකුගේ වැඩ තහනම් කළා. කවුද මේකේ අයිතිකාරයා? ‘රුවන් විජේවර්ධන පවුල. එතකොට ලංකාව තුළ කම්කරු අයිතීන් මර්දන කරන ආණ්ඩුව අනෙක් පැත්තෙන් කියනවා අපේ මානව හිමිකම් වාර්තාවන් ඉතා හොඳ නිසා අපිට ජීඑස්පී සහනය ලැබෙනවා කියලා. ජීඑස්පී දෙන්න මානව හිමිකම් විතරක් නෙමෙයි, කම්කරු අයිතිවාසිකම් ගැනත් බලනවා.

යුරෝපා සංගමයේ පාර්ලීමේන්තු මන්ත්‍රීවරු දෙදෙනෙක් පහුගිය මැයි මාසය්දි ලංකාවට ආපු වෙලාවක අපි ඒ අයට මේ ගැන පැහැදිලි කරලා කිවුවා.අපි යෝජනා කරා ජීඑස්පී සහනයෙන් ලැබෙන ආදායමෙන් සියයට පනහක් කම්කරුවන්ට ලැබෙන්න අවශ්‍යයි කියලා. ඒකට කම්කරු ඇමතිවරයායි, ආයෝජන මණ්ඩලයයි දෙකම කැමති වුණා. නමුත් ඒක ප්‍රායෝගිකව ගණන් හදන්න අමාරු දෙයක්. මොකද ජීඑස්පී එකෙන් ලංකාවට ලැබෙන අදායමේ තරම අපි කවුරුවත් දන්නේ නැහැ. ඒක සංකීර්ණ තත්ත්වයක්. උදාහරණයක් විදියට ජීඑස්පී සහනය මත අපනයනය කරන්න පුලුවන් භාණ්ඩ 6000 වැඩි ප්‍රමාණයක් ලේඛණගත කරලා තියනවා. එයින් එකක් තමයි බූරු මස්. බූරු මස් අපේ රටේ නෑනේ. මගේ නම් අදහස මේක හුදු ප්‍රචාරණ වැඩ සටහනක් විතරයි. ලංකාවේ ආණ්ඩුවලට හොඳ අවස්ථාවක් මේක තමන්ගේ වැරදි වහගෙන බොරු මානව හිමිකම් සහ කම්කරු අයිතිවාසිකම් සිවිල් අයිතිවාසිකම් ගැන පම්පෝරි ගහන්න. ඊට වඩා දෙයක් මෙතැන නැහැ.☐

© JDS

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *