වසීම් මැරුවේ අනුරද ? එක දිගට දින 04ක් ප්‍රශ්න කෙරේ..

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිද්ධියේ පරීක්ෂණ වෙනතක යොමු කිරීම සහ එම පරීක්ෂණ අඩපන කිරීමට බලපෑම් කිරිම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකගෙන් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කර ගැනීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි පසුගිය (18) දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දී තිබේ. ඒ එම නඩුව ඊයේ කැඳවූ අවස්ථාවේදී ය.

මෙතෙක් සිදු කළ පරීක්ෂණවලදී අනාවරණය කරගත් තොරතුරුවලට අනුව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අනුර සේනානායක මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අවශ්‍යව ඇති බැවින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය ඉඩකඩ සලසා දෙන මෙන් කොළඹ බන්ධනාගාර අධිකාරිවරයාට නියෝගයක් නිකුත් කරන මෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා කරුණු දකිවම්න් අධිකරණයට ප්‍රකාශ කර ඇත.

ඉල්ලීම පිළිගත් මහෙස්ත්‍රාත්වරයා මේ මස 23,24,25 සහ 26 දිනවල හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉඩ දෙන මෙන් බන්ධනාගාර අධිකාරිවරයා වෙත නියෝගයක් නිකුත් කර තිබේ.

වසීම් තාජුඩීන් ඝාතනය සිදු වූ වකවානුවේ ජනාධිපති ආරක්ෂක අංශයේ දෛනික කාර්ය සටහන් පොත් පිටු ඉරා තිබීම පිළිබඳව තවදුරටත් පරීක්ෂණ පවත්වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවක් මඟින් දන්වා ඇත.

මේ සම්බන්ධයෙන් එම වකවානුවේ ජනාධිපති ආරක්ෂක අංශයේ සේවය කළ ඉහළ නිලධාරීන් 08 දෙනකුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයිදඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වෙයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය සැකකාර විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා ලබන 01 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගග කර තැබීමට නියෝග කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *