යළිත් සුදු වෑන් කරලියට අනුරාධපුර පුද්ගලයෙකු පැහැර ගැනේ

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනකුගේම පෞද්ගලික ආරක්ෂක රැකවලකු ලෙස හා ලීසිං සමාගම්වල වාහන අත්පත් කර ගැනීමේ නිලධාරියකු (සීසර්වරයකු) වශයෙන් කටයුතු කළ ඉපලෝගම පුංචිකුළම පදිංචි පුද්ගලයකු පෙරේදා (09) රාත්‍රියේ ‍පොලිස් වෙස්ගෙන පැමිණි නාඳුනන පිරිසක් සුදුවෑන් රථයකින් පැහැර ගෙනගිය බව පවසමින් ඔහුගේ බිරිඳ ඉපලෝගම ‍පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.මෙසේ පැහැර ගැනීමට ලක්ව ඇත්තේ ඉපලෝගම පුංචිකුළම ප්‍රදේශයේ පදිංචි ලොකුරාළලාගේ අජන්ත පුෂ්පකුමාර බියගම (38) දෙදරු පියාය. ඉපලෝගම මංසන්ධිය අසල පිහිටි නිවසේදී මෙම පුද්ගලයා පැහැර ගෙන ගොස් ඇති අතර පැහැර ගැනීමෙන් අනතුරුව නිවසේ සවිකර තිබූ ආරක්ෂිත (සී.සී.ටී.වී) කැමරා 13ක දත්ත ගබඩාව ඔවුන් ගලවාගෙන ගොස් තිබේ.
අනුරාධපුර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ ප්‍රබල ආධාරකරුවකු මෙන්ම ආරක්ෂකයකු ලෙස කටයුතු කළ මොහු පසුගිය කාලයේ දේශපාලන කටයුතුවලින් ඈත්ව මුදල් ‍පොලියට ලබාදෙමින් ව්‍යාපාරික කටයුතු සිදුකරමින් සිටි බව පවු‍ලේ ඥාතීහු පවසති. ඊට පෙර පැවැති ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් කිහිප දෙනකුගේම පෞද්ගලික ආරක්ෂකයකු ලෙස මෙම පුද්ගලයා කටයුතු කර ඇත.
පැහැර ගැනීමට ලක්වූ පුද්ගලයාට එරෙහිව දිවයිනේ ‍පොලිස් ස්ථාන කිහිපයකම පැමිණිලි පවතින බව ‍පොලීසිය පැවැසූ අතර ‍පොලිස් වෙස්ගත් පිරිස ඔවුන්ට අවශ්‍ය සැකකරුවකුගේ නිවසක් පෙන්වීමට බව පවසා සුදු පැහැති වෑන් රථයක නංවාගෙන සිය සැමියා පැහැරගෙන ගිය බවට පැහැර ගැනීමට ලක්වූ පුද්ගලයාගේ බිරිඳ ඉපලෝගම ‍පොලීසියට පැමිණිලි කර ඇත.
පෙරේදා (09) උදෑසන 7.00ට පමණ සුදු වෑන් රථයකින් ටී පනස් හය වර්ගයේ ගිනි අවි හා පිස්තෝල රැගෙන පැමිණි පිරිසක් ඔවුන් බණ්ඩාරවෙල ‍පොලිස් ස්ථානයේ නිලධාරීන් බව පවසා නිවස තුළට පැමිණ සැමියා සමග පැය භාගයක් පමණ කතා කරමින් සිටියා. අනතුරුව එම පිරිස බිමට වතුර ඉල්ලූ අවස්ථාවේ මා කුස්සියට ගොස් බිමට වතුර වීදුරුවක් රැගෙන පැමිණෙද්දී ‍පොලිස් නිලධාරීන් යැයි කී පිරිස සැකකරුවකුගේ නිවසක් පෙන්වීමට බව පවසා සැමියා සුදු වෑන් රථයේ නංවාගෙන ගියා යැයි බිරිඳ පැමිණිල්‍ලේ සඳහන් කර තිබුණි.
අනතුරුව කැබ් රථයකින් පැමිණි පිරිසක් නිවසේ සී.සී.ටී.වී. පද්ධතියේ තොරතුරු ගබඩා වන ස්ථානය පෙන්වන ලෙස පවසා එම තොරතුරු ගබඩා වන කොටසද ගලවාගෙන නිවසේ තිබූ සියලු ජංගම දුරකථන රැගෙන ගිය බවත් ඉන්පසු තම සැමියා පිළිබඳව කිසිදු තොරතුරක් නැති බවත් ඇය ‍පොලීසියට පවසා තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ඉපලෝගම ‍පොලීසිය කියා සිටින්නේ බණ්ඩාරවෙල ‍පොලිස් ස්ථානයෙන් මෙම පුද්ගලයා රැගෙන ගොස් නැති බව මේ වනවිටත් තහවුරු කරගෙන ඇති බවයි. මෙම පැහැර ගැනීම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ සිදුකරන බව ‍පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් ඉපලෝගම ‍පොලිස් ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක ආර්.එස්. උඩුකුඹුර මහතාගේ උපදෙස් මත ඉපලෝගම ‍පොලිස් ස්ථානයේ විශේෂ ‍පොලිස් කණ්ඩායම් දෙකක් පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *