රහස් – වයි. සමන්ති

රහසක් එක් වරක් බෙදා ගත් විට එය තව දුරටත් රහසන් නොවේයයි මා සිතා සිටියෙමි. රහසක් දැන ගන්නා තෙක් එය දැන ගැනීමේ නොතිත් ආශාවෙන් අපි සියල්ලෝම පෙළුණද මුදිතා විසින් ඇගේ රහස මා සමඟ හෙළි නොකලානම් කොතරම් හොඳදැයි එය දැනගත් මොහොතේ පටන්ම මට ඇති වූ එකම සිතුවිල්ලයි.

” මට වෙන සම්බන්ඳයක් තියෙනවා”
දිවා කෑම පැයේදී ඇය එසේ ඇගේ රහස හෙළි කලාය. උගුරේ යමක් සිර වෙන සෙයක් මට දැණුනි. වතුර බෝතලය කට තබා ගෙනම වතුර උගුරැ කීපයක් ගිල දැමීමි. එවිටම ඇගේ ජංගම දුරකතනයට ‘ ක්ලික්’ හඩින් තවත් කෙටි පණිවුඩයක් ආ බව දැන්වීය. පසුගිය සති කිහිපය පුරා ඇගේ හැසිරීමේ අමුත්තක් ඇති බව තේරුම් ගත් මා ඒ යට සැඟවුනු රහසක් ඇතැයි අනුමාන කලෙමි.

“කරුණාකරල මේ ගැන කාටවත් කියන්න එපා. අනුරුද්ධටවත්. ”

මගේ සිතේ තිබූ සැහැල්ලුව එහෙම පිටින්ම නැති වී ගියාය. විවාහයෙන් පසු අනුරුද්ධ හා මා අතර කිසිදු රහසක් නොවීය. දැන් ඉතිං මා මේ බවක් ඔහුට කියන්නේ කෙසේද? ඊටත් අනුරුද්ධ හා නිර්මාල් පැරණි සමීප මිතුරන්ය.

” ඔයාල ⁣දෙන්න හොඳට ජීවත් වෙනවනෙ. ඉතිං ඇයි මේ ?”

“මට මේ ජීවිතේ එපා වෙලා. ”

පිට කළ සුසුමක්ද උරහිස් සෙලවීමක්ද සමග ඇය දුන් පිළිතුරෙන් ඇගේ වසර පහළවක විවාහ දිවිය පිළිබඳ ඉඟියක් සැපයීයයි මට සිතුනි.

“සිරී නිසා මම ආයෙමත් ජීවත් වෙන බව දැනෙනවා”

යෙහෙළියක් ලෙස මා ඇය දිරිමත් කළ යුතුද? ජීවිතේ තියෙන්නෙ විදින්නට මිසක් විඳවන්නට නොවේයයි මා නිතරම කියන්නට පුරුදු වී සිටියෙමි. ඉතිං මේ නීරස විවාහ දිවියෙන් මොහොතක් මිදී ඇය සතුටින් සිටිනවා නම් මා සතුටු විය යුතු නොවේද? ඒ අයිතිවාසිකම ඇත්තේ පිරිමින්ට පමනක්ද?
මා එසේ සිතූවත්
” උඹ නම් මහ මෝඩියක්” යයි මම පැවසීමි
ඇයගේ මුහුණේ පසු තැවීමක සේයාවක්වත් නොවීය.
” කාටවත් කියන්නෙ නැහැ නේද?”යි පෙරලා ඇසීය.

“මොනවද ඉස්සරහට කරන්න හිතාගන ඉන්නෙ”යි මම ඇසුවෙමි.
” මම දන්නෙ නැහැ. අද දවසෙ ජීවත් වෙනව. එච්චරයි. “යි ඇය මුවගට සිනහවක් නගා ගනිමින් පැවසීය. ඇය සැබවින්ම සතුටින් සිටින බව ඇගේ දීප්තිමත් දෑස් කියා පෑවාය.

” මට කාට හරි කියල නිදහස් වෙන්න ඕන වුනා. එච්චරයි”

ඇය හිතේ හිර කරගන සිටි රහසින් ඇය නම් නිදහස් වූ බව සැබෑය. එහෙත් එය කොන්ක්‍රීට් කුට්ටික් මෙන් මුවට දමා ගත් බත් ගුලියත් සමග පහළට බැස උදරයේ තැන්පත් වෙනවාක් මෙන් මහා බරක් මට දැණුනි.

කාර්යාලය නිම වී වාහනය පදවා ගෙන ආපසු නිවස කරා එන අතර තුර, මා අන්තිම වතාවට අනුරුද්ධගෙන් රහසක් වසන් කරගෙන ඉන්නට උත්සාහ කලේ කවදාදැයි මතක් කර ගන්නට උත්සාහ කලෙමි. ඒ මා පළමු වරට ගැබ්ගත් බව දැන ගත් දවසේය. ඊට සතියකට පසු එළඹෙන ඔහුගේ උපන් දිනය දාට ඒ රහස ඔහුට හෙළි කරන තුරු එය රහසක් වශයෙන් තබා ගන්නට මට ඕනෑ විය. ඒ එයින් ලැබෙන වැඩි සතුටටත් ආදරණීය බවටත් ලෝභ කමිනි.

“රහසක් තව කෙනෙක් සමග බෙදා ගත්තට පස්සෙ එය තව දුරටත් රහසක් නොවෙයි”

මට පළමු වරට එසේ කීවේ මගේ මවයි.
” රහසක් දැන ගත්තාම ඒක රැක ගන්න පුළුවන් වෙන්න ඕන. ” යි ඇය තව දුරටත් කීවාය.

” එතකොට තාත්ත ගැන රහස දැන ගන්නත් ඔයාට ඕන වුනේ නැද්ද” යි මම ඇසීමි.
ඒ බව දැන ගත් පසු ගෙදර ඇති වූ පරිසරය නිසා ගෙදරින් පලා යන්නට ඇත්නම් යයි මට සිතුනු වාර බොහෝය.

” ඒ වෙනකොටත් මම දැන ගන හිටියෙ”

ඇගේ දෙතොල් වෙව්ලූ හැටි මට තාමත් මතකය.
” මම මොකුත් නොදන්නවා වාගෙ ජීවත් වෙන්න උත්සාහ කලා. නමුත් ඒ රහස කෙනෙක් තව කෙනෙක්ට කියපු බව දැන ගත්තට පස්සෙ මම තීරණයක් ගන්න ඕන කියල හිතුවා.”

ඒ රහස පුපුරා යාමත් සමගම ගෙදර වාතාවරණය එහෙම පිටින්ම වෙනස් වන්නට ගතවූයේ නිමේෂයකි. එක් වරම කඩා පාත් වූ සුළි සුළගකට සියල්ල සී සීකඩ විසිරී ⁣ ගියා වාගේ නිවස තුළ සියල්ල උඩි යටිකුරු වී ගියාය.

” ඔයාට තිබුණෙ ආයෙමත් කසාද බදින්න”
එම සිද්ධියෙන් බොහෝ කාලයකට පසු ඇගේ මරණයට පෙර දවසක මම ඇයට පැවසීමි.

” මම ඔයාගෙ තාත්තට ආදරේ කලා. එයා දැනගෙන  හිටියෙ නැහැ අපි කසාද බඳින කොටත් මට ඔයාව ලැබෙන්න හිටපු බව. එයාට දරුවෙක් ලබන්න උවමනාවක් තිබුණෙ නැහැ. පස්සෙ ඒක දැන ගත්තත් ඔයා ඉපදුණාට පස්සෙ එයා ඔයාට ගොඩක් ආදරේ කලා.”
ඔහුට සම්බන්දතා එකකට වඩා තිබුණු බව මගේ මව දැන ගත්තේ ඔවුන් අතර සම්බන්දතාවය බිඳී ගියාට පසුවය. ඔවුන්ගේ දික්කසාදයෙන් පසු සියළු රහස් පුපුරා යන්නට පටන් ගත්තාය.

” රහසක් රැක ගන්න ඕන”යි ඇය සෙමින් එහෙත් ගැඹුරු හඩකින් පැවසීය.

ඒ මතකයන් අතර පැටලෙමින්ම මා නිවස කරා ලඟා වී සිටියෙමි. තව කෙනෙකුගේ රහසක් හිතට මේ තරම් පීඩාවක් ගෙන දෙන්නේ මන්දැයි මම පුදුමයට පත් වීමි.
මුදිතා මේ බව දැන දැනම මේ බව මා සමග ඇගේ රහස කීවාද ? මට අනුරුද්ධගෙන් එය වසන් කල නොහැකි යැයි ඇය සිතන්නට ඇත. අනුරුද්ධ මේ බව නිර්මාල් සමග කියනු ඇත. එවිට නිර්මාල් ඇයගෙන් වෙන් වෙන්නට තීරණය කරනු ඇත. ඇයට කෙලින්ම නිර්මාල් සමග මේ ගැන කතා කල නොහැකි බැවින් එවැනි විසදුමක් සෙව්වාද ? ඇගේ විවාහ ජීවිතයේ අවසානය එයද?

නිවසට ඇතුළු වන විට මගේ හිස කකියන්නට විය. එහෙත් මා මේ රහස රැකිය යුතුය

“නිර්මාල්”

ඔහුගෙ කාරය ගරාජයේ නවතා ඇති බැවින් ඔහු නිවසට පැමිණ ඇති බව මා දැන ගතිමි. බෑගය  ඇද උඩ දමා කෑම පෙට්ටිය රැගෙන මුළුතැන් ගෙට යන විට ඔහු එහි මේසය අසල වාවි වී සිටියේය. ඔහුගේ හිස අත් දෙකට බර වී තිබුණි.

” මොකක් හරි ප්‍රශ්ණයක්ද”
” නැහැ… මොකුත් නැහැ ”

ආයාසයෙන් මෙන් මුවගට සිනහවක් නගා ගත් ඔහු

“ඔෆීස් එකේ පොඩි ප්‍රශ්න වගයක්” යි පිලිතුරු දුන්නාය.

රාජ්‍ය සේවයේදී පැන නගින නොයෙකුත්
ප්‍රශ්ණ ද දුෂ්කරතාද ඔහු අනන්තවත් මා සමග පවසා ඇත.

” මේ පාර මොකක්ද?”
” ලොකු දෙයක් නෙවෙයි”

ඔහු පුටුව පිටු පසට තල්ලු කොට නැගිට ගොස් ශීතකරණයෙන් වතුර බෝතලයක් ගෙන බොන්නට විය. මම නොසෙල්වී ඔහු දෙස බලා සිටියෙමි.
මම නොදන්නා රහසක් ඔහුගෙ සිතෙත් තිබෙනවාද යන ක්ෂණික සිතුවිල්ලක් විදුලි රේඛාවක් මෙන් මා සිත පසාරු කරගන ගියාය.
එය හුදෙක් මුදිතාගේ රහස මා සිත තුල සිරවී තිබෙන නිසා ඇති වූ සිතුවිල්ලක් පමණද? එසේ නැතිනම් මේ දක්වා මා නොදන්නා රහසක් සමග අපි මෙතෙක් කල් එක්ව ජීවත් වුනාද? මගේ සිත තුළ සිතුවිලි අතරමං වෙන බවක් දැනෙන්නට විය. එවැනි රහසක් ඇත්නම් එය හෙළි වූ පසු කුමක් සිදු වෙනු ඇද්ද?
මම මේසට අත් දෙක තබා වාරු ගතිමි.

” ලොකු දූ පාර්ටි එකකට ගියා නේද? එයාව ගන්න යන්න ඕන නේද රෑ වෙලා”

දියණිය උත්සවය නිමවී ඇගේ යෙහෙළියගේ නිවසේ අද රෑ නවතින බව මා ඔහුට කීවේ අද උදෑසනය.

” මම ඔයාට කීවනෙ අද රෑ එයා එහෙ නවතිනව කියලා. ”
අපේ දෑස් එකිනෙක හමු විය. ඒ ඇස් යට රහසක් ඇති බව ඔහුට මාගෙන් වසන් කල නොහැක. ඒ රහස මා හෙළි කරගත යුතුද?

“මහන්සියි… ඇඟ සෝදගන එන්නම්” යි පවසමින් ඔහු නැවතත් පුටුවෙන් නැගී සිටියාය.
” ඊට පස්සෙ කතා කරමු”යි පවසමින්ම එතෙක් වේලා මේසය මත තබා තිබූ බ්‍රිෆ් කේසය අතට ගත්තාය.

“ඔයා සුදුමැලි වෙලා වාගෙ සනීප නැද්ද?”
මේසය වටෙන් යන ගමන් මගේ හිස අත ගාමින් ඔහු එසේ පැවසීය.

” ඔයා වෙනස් අද” යි මම හිතේ තෙරෙපෙන හැගුම පිට කලෙමි. නැවතත් මා දෙසට හැරුණු ඔහු මොහොතක් මා දෙස බලා සිට නැවතත් මේසයට වාඩි විය.

” මට අද නිර්මාල්ව හමුවුණා. ”
ඔහු රහස පුපුරුවා හරින්නට එය දිග හැරියාය.

” එයා හිතනව මුදිතට වෙන සම්බන්දයක් තියෙනවා කියල. මේ ගැන දැන්මම කාටවත් කියන්න එපා කීව නිසා මම පොරොන්දු වුනා. ”

වරදක් කර හසුවූ පොඩි එකෙකු සේ අසරණව ඔහු මා දෙස බලා හිදින්නට විය. කොන්ක්‍රීට් ගල් ගෙඩිය එළියට විසිකර සිනා සෙන්නට මට ඕනෑ විය.

“ඇයි ?”
මගේ මුහුණේ ඇති වූ වෙනස ඔහු දකින්නට ඇත.

” මුදිතට වෙන සම්බන්දයක් තියෙනව තමයි”
ඒ වචන මගේ මුවින් පිට වෙනවාත් සමගම ගල් ගෙඩියද එළියට විසිවී මට නිදහසක් දැනෙන්නට විය.

” එයා මට ඒ බව කිව්වා. මම පොරොන්දු වුනා කාටවත් කියන්නෙ නැහැ කියලා. ”
වරදකාරී හැඟීමකින් වුවද හිතේ නිදහසින් මම එසේ කිව්වෙමි.

” වෙන කාගෙ හරි රහසක් වුනත් අපි අතර රහසක් වෙනවට මම කැමති නැහැ. ඒත් ඔයාට රහසක් රැකගන්න පුළුවන් එක ගැන මම සතුටු වෙනවා. ”

⁣” තේ එකක් බීලම ඇග සෝදන්නම්” යි ඔහු පැවසූ ස්වරයෙන්ම ඔහුද පීඩාවකින් නිදහස් වූ තරම මම හදුනා ගතිමි.
” දැන් අපි මොකද මේ ගැන කරන්නෙ?” යි තේ බොන අතර මම ඇසුවෙමි.

” එයාලට ඕන වුණොත් විතරක් අපි මැදිහත් වෙමු. එච්චරයි. ” යි ඔහු පැවසීය.

” මම ඔයාට කියපු බවක් මුදිතට හඟවන්නෙ නැහැ නේද?” යි මම ඇසුවෙමි.

” ඔයා නිර්මාල්ට මම කියපු බවක් නොකියනකම්”

සියුම් කණගාටුවක්ද සතුටක්ද සමග අපි සිනහසුණෙමු.

“ඒක දැන් අපි දෙන්නගෙ රහස”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *