මාධ්‍යවේදී අබරං මාමලා සහ බිග් මැච්වල කොලු කමේ සීමා – මුග්ධයාගේ සටහන

පසුගියදා කොළඹ බාලිකා පාසල් කිහිපයක් මුල් කොට ගනිමින් සිදු වූ සිදුවීමක් හුවා දක්වමින් බොහෝ මාධ්යො පාසැල් සිසුන් අමන, තකතීරු යන වදනින් ඔබ්බට ගොස් නපුංසක තත්වයට ඇද දමනු දක්නට ලැබුණි. Lankatarget වෙබ් අඩවියේ පවා මේ සම්බන්ධයෙන් ලිපියක් පළ කර තිබූ අතර, එය ද නම් කොට තිබුණේ “යශෝධරාවන් කෙළසූ මහානාම නපුංසකයෝ“ යනුවෙනි. කෙසේ වෙතත් මෙම ලිපිය ඉදිරිපත් කළ ලියුම්කරු විසින් දිගින් දිගටම මෙහිදී හුවා දක්වා ඇත්තේ මාධ්යන රූප රාමු මගින් සමාජගත කරන ලද යම් රාමුවකට කොටු කරන ලද අදහස් ගොන්නක් පමණක් අදාල කර ගනිමින් බව පැහැදිලිය.මෙම සිදුවීමට සමගාමී අත්දැකීම් කිහිපයක් අපට ද ඇත. ඒ අද ඊයේ නොව, මීට වසර විස්සකට ආසන්න කාලයේදීය. එකළ අප සාමාන්ය් පෙළ පන්තිවල සිටයදී අපද බිග් මැච් ‘උණ‘ නොව බිග් මැච් ‘වසංගත‘ හැදුන වුන්ය. පාසල් පැමිණෙන පොදු පාසල් බස් රථ ඇතුළු බස් රථවල අපේ බිග් මැච් උණ පැතිර තිබිණි. ඒ උණ හැදුනු කොල්ලන්ගේ ක්රි යාකාරකම්වලට ගොදුරු වුයේ කොල්ලන්, කෙල්ලන් පමණක් නොව පාසල් ගුරුවරුන් ද ඒ උණේ කොටස් කරුවන් වූ අවස්ථා අපමණය.

එකල අපද බිග් මැච් මුල් කොට ගනිමින් රෝඩ් ෂෝ අනන්තවත් කර ඇත්තෙමු. එකල මෙකල මෙන් මොඩ් නොවුනද ඒ රෝඩ් ෂෝ වල ක්රිොයාකාරකම් අද දක්නට ලැබෙන ක්‍රියාකාරකම්වලට දෙවෙනි වුයේ නැත. මෙකල මෙන් එකල ද අප “හැට් කලෙක්ෂන්“ අනන්තවත් සිදු කර ඇත. ඒ හැට් කලෙක්ෂන්වලට වැඩියෙන්ම දායක වී ඇත්තේ පාසල් සිසුවියන් හා ගුරුවරුන්ය. ඒ අත්දැකීම අති සුන්දර අත්දැකීමකි.

එමෙන්ම අප ද බොහෝ බාලිකා පාසල් වෙත කඩා පැන ඇත්තෙමු. ඒ අප නපුංසක නිසා හෝ අපගේ ලිංගික ආශාවන් මුදුන් පමුණුවා ගැනීමට නොව, විනෝදයටය. විනෝද වෙමින් පපර බෑන්ඩ් එකක් සමග බාලිකා පාසල් වෙත කඩා පනින මේ බිග් මැච් රෝඩ් ෂෝ බාලිකාවියන්ගෙන් හා ගුරුවරුන්ගෙන් හැට් කලෙක්ෂන් එකක් දමන්නේ විනෝදයටය. ඒ විනෝදයට, කොලුකමට කිසිදු බාලිකා පාසලක බාලිකාවියක් හෝ ගුරුවරුන් බාධා පමුනුවා නැත. ඇතැම් දිනක පොදු පාසැල් බස් රථයේ ගමන් ගන්නා බාලිකා පාසැල්වල සිසුවියන් හොරෙන් අසන්නේ ‘අපේ ඉස්කෝලෙට එන්නෙ කවදද?‘ යනුවෙනි. නමුත් ඒ කඩාපනින දිනය කිසිදාක කළින් හෙළි නොකරන්නේ ඒ විනෝදය විනෝදමත් ලෙස සිදුකිරීමේ කොලුකම නිසාය.

එකී ක්රිරයාවලියට වසර විස්සක් මෙපිට අදද සිදු වේ. නමුත් එදා හා මෙදා අතර වෙනස ඇත්තේ මාධ්‍ය මැදිහත්වීම බව අපගේ අදහසයි. එකල අපගේ රෝඩ් ෂෝ ආවරණය කරන්නට බොහෝ මාධ්යා වෙන් වී තිබුණේ නැත. එමෙන්ම අද මෙන් චැනල් සිය ගණනක් එකල තිබුණේ ද නැත. එබැවින් රටේ මාධ්‍ය කාලසීමාව ඉතා සීමිත බැවින් ඔවුන්ට මෙවැනි ගොසිප් නිවුස්වලට වඩා බොහෝ නිවුස් තිබිණි.

නමුත් අද මාධ්‍ය කඩාපැනීම සිය මාධ්‍යයෙ සීමාව උල්ලංඝණය කර ඇත. ‘මම මාධ්‍යවේදියෙක්‘ යැයි කියාගෙන, මාධ්‍යවේදී හැදුනුම්පත අතට ගත් සැනින් මාධ්‍ය වේදියා සිතන්නේ තමන්ට වඩා කෙරුමෙක් මේ මිහිපිට නැති බවකි. ඒ සම්බන්ධ උදාහරණ පසුගිය කාලයේ අනන්ත දක්නට ලැබුණි. එමෙන්ම එදා අද මෙන් සමාජජාලා නොතිබුණු කාලයකි. එබැවින් යමක් සිදු වු පමණින් ලොව පුරා සියල්ලන්ට දැක ගැනීමට අවස්තාවක් නොලැබුණා සේම, අද මෙන් එකළ අනුන්ගේ ඕපා දූප සෙවීමේ, කුනු සෙවීමේ අවස්ථාවක් නොතිබුණි. එබැවින් අද මේ සිදුවන දේ එදා සිදු වුවද, එදා සිදු වූවද එය කුණු අවුස්සන ‘අබරං මාමලාට‘ දැනගැනීමට නොලැබුණු බැවින් එය සිදුවී අවසන් විය.

නමුත් අද සමාජ භාවිතාව මෙන්ම, තාක්ෂණික බාවිතාවද ඉහළ ගොස් ඇත. එබැවින් යමක් සිදු වු පමණින් එය මුළු ලොවම දැනගෙන අහවරය. අබරං මාමලාට වැඩ වැඩිය. ඒ නිසාම එකල සිදු වු දේ මෙකල සිදුවීම අරුමයක් වී ඇත. එකල කොලු කමට කළ දේ අද නපුංසකකමට කළ දෙයක් වී ඇත. එදා සුන්දර දේ අද ම්ලේච්ඡ වී ඇත. මේ සිදුවිමේ අරුමයක් නොව, අපගේ සීමාවේ අරුමයයි.

එමෙන්ම මෙහිදී සටහන් කළ යුතු තවත් වැදගත් දෙයක් ඇත. එනම් එකල ඒ දේ සිදු වු පමණින් අදද එය සිදුවීමට දීම අනිවාර්ය බව සපථ කිරීම මෙහි අරමුණ නොවන බවයි. එමෙන්ම එකළ කොලුකමේ සීමාවක් තිබිණි. නමුත් අද කොලුකම ඒ සීමාව යම් පමණකට උල්ලංඝණය වී ඇති බව ද කණගාටුවෙන් සටහන් කරමු.

එබැවින් මේ සිදුවීම් සම්බන්ධයෙන් අප තමන්ගේ දේශපාලන අරමුණු මුදුන්පමුණුවා ගැනීමට වෙහෙසෙන මාධ්යනකරුවන්ගේ කෝණයෙන් නොබලා පුළුල් ආකාරයකින් බැලිය යුතුව ඇත. අනෙකාගේ ඇසින් නොව අපගේ ඇසින්ම දැකිය යුතුය. කොලුකමට තහංචි නොව සීමාවන් පමණක් දැමිය යුතු බව සිහිගැන්විය යුතුය.

 මුග්ධයාගේ අඩවියෙන් උපුටා ගැණිනි

සංවාදයට විවෘතයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *