අධ්‍යාපනයේ ම්ලේච්ඡත්වය හා අම්මාට ඒඩ්ස් වැළදීම – නිරෝෂා සුමුදුනී

ඒඩ්ස් වැළඳුණු මවකගේ අවාසනාවන්ත දියණියෙකුට සිය මූලික මානුශික අයිතිවාසිකමක් වන අධ්‍යාපනය ලැබීමේ වරම අහිමි වී ඇත. ඇය අවාසනාවන්ත වන්නේ ඇයගේ මවට ඒඩ්ස් වැළඳුණු නිසා නොවේ. ඇය ශ්‍රී ලංකාව නම් ලෝකෙන්ම උතුම් රටේ උපන් නිසාය. ඇගේ පන්තියේ යෙහෙළියන්ගේ අම්මලා තාත්තලා ආච්චිලා උදේ පාන්දර නැගිට පිරිත් අසා, පහන් තියා, උයා පිහා, ගෙවල් වසා දමා දරුවනුත් කැටුව පාසලේ ගේට්ටුව අසල රැකවල් ලා සිටින්නේ අර දැරිවිය පාසල අසලට එන තෙක් ය. ඒ ඇගෙන් සමස්ත පාසලම බේරා ගන්නටය. ඇය එතරම්ම භයානකය.

ඇය දුටු විට ඔවුන් වෙඩි කෑ ඌරන් සේ කුපිත වෙයි. ඔවුන්ගේ දරුවන් ද බලා සිටියදීම ශරීරාවයව සොලවමින් අත් පා වීසි කරමින් යටි ගිරියෙන් කෑ ගසන්නට පටන් ගනී. ඒ දැරිය සමඟ එක පන්තියක රැඳුණොත් සිය දරුවන්ටත් ඒඩ්ස් බෝ වෙතැයි ඔවුන් අඬා වැටෙති. සාප කරති. අසැබි වචන කියති. ඔවුන් සිත යටින් දැරියගේ මරණය පවා පතනු නිසැකය.

එවිට ඒ දරුවා ඉගෙන ගන්නේ කොහේද ? ඇවිද යන්නේ කොහේද ? සෙල්ලම් කරන්නේ කොහේද ? ඒ මා පියන්ට අනුව මේ රටේ ඇයට පය ගැසීමට තැනක් නැත.

ඒඩ්ස් වැළඳුණු මව්වරුන් හෝ පියවරුන් සිටින එකම දරුවා සිටින්නේ අපේ රටේ ද?නැත එවැනි දරුවන් ලොව පුරා විසිරී සිටිති. අන් බොහෝ රටවල දී ඔවුන් සාමාන්‍ය පුරවැසියන් ය. පාසල්, පුස්තකාල , උයන්, ආපනශාලා, රැකියා ස්ථාන ඔවුන්ටද විවෘතය. එහෙත් අපේ රටේ නම් ඔවුන් පිටුවහල් කල යුතුය. සිරගත කල යුතුය. එහෙත් එවිට සිරකරුවන්ද උද්ඝෝෂණයේ යෙදෙනු ඇත.

එසේ උද්ඝෝෂණය කරන දෙමාපියන්ගේ දරුවන් දෙස බලමු. උදේ හවස ඔවුන්ගේ නිවෙස් තුළ සිය මිතුරිය ගැන ද්වේශ සහගතව කතාවෙනු ඔවුන්ට ඇසෙණු නිසැකය. එලෙසම සිය අසල්වැසියාට වෛර කරන්නේ කෙසේද, ඔවුන්ව පාගා දමන්නේ කෙසේද, දුබලයා මිය යන තෙක්ම පහර දෙන්නේ කෙසේදැයි අත්දැකීමෙන්ම ඉගෙන ගනු ඇත. එලෙස ක්‍රම ක්‍රමයෙන් අපේ අනාගත පරපුර අපේ කාලයටත් වඩා කුරිරු බවින් පෝෂණය වනු ඇත.

කලයුක්ත පසෙක තබා අනාගත මල් කැකුළකට ගැරහීම මිනිස්කමද? දියුණු යැයි පාරම්බාන අසික්කිත සමාජ දේහය දරුවන්ට උරුම කොට දී ඇත්තේ අම්මා ලෙඩ වූ පසු සියතින් ගෙල වැළලාගෙන මරණයට පත්වීමද ? මෙයට වගකිව යුත්තෝ කවරහුද ? අහෝ …. අධ්‍යාපනය…වෛද්‍ය විද්‍යාවේ නානාවිධ අංශයන් දියුණු කර ඇතැයි පවසන කළ දරුවෙකුගේ රුධිර සාම්පලයකින් මිනිස්කම ඉල්ලා සිටිනුයේ කවර නම් ම්ලේච්ඡත්වයක්ද ? මෙවන් නරුමයින් ගොඩ නගන ලද අධ්‍යාපනය… ඔව් … සියතින් ගෙළවැළලාගෙන මැරෙනු….. එය වහල් යුගයටද නැතිනම් එඩේර යුගයටද පාර කපනු ඇත…. එය මීට වඩා යෙහෙකැයි සිතනුයේ දියුණු යැයි පවසන ම්ලේච්ඡත්වයට වඩා ගෝත්‍රිකත්වයේ මිනිස් ගුණයක් රැකෙනු නියායෙනි..

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *