යුද අධිකරණයකට විදෙස් විනිසුරන් පත් කිරීමෙන් අවුලක් නෑ  – සුමන්තිරන්

මානව හිමිකම් මණ්ඩලයේ යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාවට අමතර කාලයක් ලබාදීමට ගනුලබන උත්සාහය පිළිබඳව දෙමළ ජාතික සන්ධානය විරෝධය පළ කරයි.
මාර්තු 23 වෙනිදා ජිනීවාහි පැවැත්වීමට නියමිත මානව හිමිකම් මණ්ඩලයේ සැසිවාරයට සහභාගිවීමට නියමිත දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන් එම විරෝධය පළකළේ ඊයේ (18) යාපනයේදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමිනි.2015 ඔක්තෝබර් 01 වෙනිදා ශ්‍රී ලංකා රජයේ ද එකඟත්වය ඇතිව මානව හිමිකම් මණ්ඩලයේ සම්මත කරගත් යෝජනා කිසිවක් ඉටු කිරීමට රජයට උනන්දුවක් නොතිබූ බව මන්ත්‍රීවරයා පවසයි.
යුද අධිකරණයක් පිහිටුවීම, විදේශීය විනිසුරන් පත් කිරීම ඇතුළු කරුණු රැසක් යෝජනාවල ඇතුළත් නමුත් ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් සෙසු අමාත්‍යවරුත් එම යෝජනා ඉටු නොකරන බව ප්‍රසිද්ධියේ පවසන බව කී පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන්, ආණ්ඩුව එවැනි ප්‍රකාශ සිදුකිරීම අසාධාරණ බව සඳහන් කළේය.
දැනට පවතින ව්‍යවස්ථාවට අනුව විදෙස් විනිසුරන් පත්කිරීමට බාධාවක් නොමැති බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා,හිටපු අගවිනිසුරුවරිය ශිරාණි බණ්ඩාරනායකට එරෙහිව චෝදනා විභාගකිරීමට පොදු රාජ්‍ය මණ්ඩලීය විනිසුරන් පත්කිරීම සඳහා පැවති සූදානම ඊට උදාහරණයක් වන බව ද කියා සිටියේය.
යුද අධිකරණයක් පිහිටුවීමත් ඒ සඳහා විදෙස් විනිසුරන් පත්කිරීමත් අනිවාර්ය බව දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය බව ඔහු අවධාරණය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *